March 14, 2024

මෙරට සාගර පරිසරයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබූ MV X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් අට දෙනා අභියාචනාධිකරණය හමුවේප්‍රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබිණි.

සම්පත් බී.අබේකෝන් සහ පී.කුමාරරත්නම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමකින් තොරව ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26(අ) වගන්තිය ප්‍රකාරව චෝදනා අටක් යටතේ චූදිතයන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබිණි.

2021 මැයි 19 වැනිදා සිට 2021 ජූනි 02 වැනිදා දක්වා කාලය තුළ MV X-Press Pearl නැමති නෞකාවෙන් ඇති වූ සමුද්‍ර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට මුහුදු සීමාව තුළ වෙරළබඩ ප්‍රදේශවලට සිදු වූ හානියට අදාළව මෙම චෝදනා ඉදිරිපත් කර තිබිණි.

මෙරට වෙරළබඩ ප්‍රදේශවලට සිදු කළ විනාශය සම්බන්ධයෙන් නෞකාවේ මාස්ටර් Tyutkalo Vitalyon සහ Sea Consortium Lanka (Pvt) Ltd, එහි අධ්‍යක්ෂවරුන් සහ සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.