February 28, 2024

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 36 වැනි ස්ථිර පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමැතිය ලබාදී නොමැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කරන ලද චෝදනාව කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කරයි.

දේශබන්දු තෙන්නකෝන් 36 වැනි පොලිස්පතිවරයා ලෙස සඳුදා (26) පත් වූ අතර, ඔහු ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් ලබාගත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී (1) සහ 61 ඊ (ආ) වගන්තිවලට අනුකූලව සහ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියාසිටියේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකළ බවත්, අදාළ පත්කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවැනි වරටත් අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවත්ය.

2024 අංක 09 දරන මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත බලාත්මක කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව විපක්ෂය මීට පෙර ප්‍රකාශ කළේය.

ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ පණිවිඩයේ කියැවුණේ, අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සාමාජිකයන් 4 දෙනකු දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

ඔහුට විරුද්ධව දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර අනෙක් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.

ව්‍යවස්ථා සභාවේ එක් ආසනයක් පුරප්පාඩුව පවතී.

තීරණයකට එළැඹීමට අවම වශයෙන් ඡන්ද පහක්වත් අවශ්‍ය බව සඳහන් කළ ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සභාපතිවරයා ලෙස කථානායක අබේවර්ධනට තීරණාත්මක ඡන්දයක් ඇත්තේ සම තත්ත්වයකදී පමණක් බවයි.

“හතරට -දෙක යනු සම තත්ත්වයක් නොවේ. දෙවැනි වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. ලැජ්ජයි කථානායකතුමනි ” යනුවෙන් එම පණිවිඩයේ සඳහන් විය.

ප්‍රේමදාස මන්ත්‍රීවරයා කරන චෝදනා ප්‍රතික්ෂේප කළ කථානායකවරයා පවසන්නේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලැබුණු බවයි.

“සාමාජිකයන් හතරදෙනෙක් ඒකට එකඟ වුණා. තීරණාත්මක ඡන්දයෙන් එය පහ බවට පත්වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු පිටතදී කතා නොකරන බවට එකඟතාවක් තිබෙනවා. කොහොම වුණත් කවුරුහරි චෝදනාවක් කළොත් ඒක ඔප්පු කරන්න පුළුවන් නේද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක් සඳහා ගණපූරණය පහකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ(4) ව්‍යවස්ථාවේ මෙසේ කියැවේ: “ අවශ්‍ය සෑම නිර්දේශයක්ම,අනුමැතියක්ම හෝ තීරණයක්ම සභාව විසින් ඒකමතික තීරණයක් ලෙස ගැනීමට උත්සාහ කළ යුතු අතර, ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක, සභාව විසින් කරනු ලබන නිර්දේශයක්, අනුමැතියක් හෝ තීරණයක් රැස්වීමකට පැමිණ සිටින කවුන්සිලයේ සාමාජිකයන් පස්දෙනෙකුට නොඅඩු පිරිසක් විසින් සහාය නොදක්වන්නේ නම් මිස වලංගු වන්නේ නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ(5) ව්‍යවස්ථාවේ මෙසේද කියැවේ: “සභාපතිවරයාට හෝ මුලසුන දරන අනෙකුත් සාමාජිකයාට මුල් ඡන්දයක් නොතිබිය යුතුය, නමුත් කවුන්සිලයේ ඕනෑම රැස්වීමකදී තීරණයක් සඳහා යම් ප්‍රශ්නයකට සමාන ඡන්ද සමානාත්මතාවක් ඇති වුවහොත්, සභාපතිවරයා හෝ එවැනි රැස්වීමක මුලසුන දරන අනෙකුත් සාමාජිකයකුට ප්‍රකාශ කිරීමේ ඡන්දයක් තිබිය යුතුය.”

කථානායක අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අතර අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන  පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නීතීඥ සාගර කාරියවසම් ඇතුළත් වේ.

ප්‍රේමදාස මන්ත්‍රීවරයා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් විපක්ෂය නියෝජනය කරන අතර ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, ආචාර්ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න සිවිල් සමාජය නියෝජනය කරති.

ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය නොකරන සුළු ජාතීන් නියෝජනය කරන මන්ත්‍රීවරයකු තවම පත්කර නැත.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට පාර්ලිමේන්තු විපක්ෂය සහ සිවිල් සංවිධාන වැනි පාර්ශ්ව කිහිපයක විරෝධය එල්ල වී ඇති අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ද ලක්කර ඇත.(The Morning)