January 28, 2024

රටේ අල්ලස දූෂණය වැඩියෙන්ම සිදුවන ආයතනය ලෙස ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වී ඇත.

දිවයිනේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් 500කට වැඩි පිරිසක් යොදාගෙන මාර්ගයත ක්‍රමයට (ඔන්ලයින්) මෙම සමීක්ෂණය කරනු ලැබ ඇත්තේ, එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය මහාචාර්යවරුන්වන වසන්ත අතුකෝරළ සහ මාලක රණතිලක යන අය විසිනි.

එම සමීක්ෂණය අනුව මීළඟ දූෂිත පිරිස ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස හඳුනාගෙන ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

ඉන් පසු වංචාව දූෂණවලට යොමු වූ වැඩිම පිරිස සහ ආයතන ලෙස පිළිවෙලින් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්, ග්‍රාම නිලධාරී සේවය, අධ්‍යාපනය ක්ෂේත්‍රය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා රේගුව හඳුනාගෙන ඇති බව ඔහු පවසයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල සේවා ලබා ගැනීමට යන අයගෙන් සියයට අනූ හතරක් පමණ කුමන හෝ දුෂ්කරභාවකට මුහුණ දෙන බව එම සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.

සැම රාජ්‍ය ආයතනයකම කුමන හෝ දූෂණයක් සිදුවෙන බවට සියයට අනුහතරක පිරිසක් ප්‍රකාශ කරන්නේ ‍යැයි පැවසූ මහාචාර්යවරයා, මින් සියයට 22ක්ම රාජ්‍ය ආයතනවලින් වැඩකරගෙන ඇත්තේ, විවිධ අල්ලස් දීමෙන් හෙළි වී ඇතැයිද සඳහන් කර තිබේ.

සියයට හතලිස් නවයක් පෞද්ගලික සබඳතා මත සේවය ලබාදෙන ඇති බවත්, තෑගි ලබාදී සේවය ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට හයක් බවත්, සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.

මෙයට අමතරව පරිත්‍යාග කිරීම් මගින් සියයට අටක පිරිසක් රාජ්‍ය ආයතනවලින් වැඩ කරගෙන ඇති අතර, වෙනත් ක්‍රම මගින් වැඩ කරගෙන ඇති සංඛ්‍යාව සියයට 15ක් බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මුදල් පරිත්‍යාග ලබාදී රාජ්‍ය සේවය ලබාගත් පිරිස සියයට තිස් හයකි. මෙයට අමතරව ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ දැරූ සිද්ධීන් 10ක්ද වාර්තා වූ බවද ප්‍රකාශ කරන මහාචාර්යවරයා, සමීක්ෂණයට භාජනය වූ පිරිසෙන් සියයට තිස් හයක්ම රාජ්‍ය ආයතනවල ඉතා විශාල වශයෙන් දූෂණ සිදුවෙන බව ප්‍රකාශ කරන්නේ යැයිද සඳහන් කරයි.

මේ අතර, රාජ්‍ය සේවා ලබාගැනීමට ගොස් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙන පිරිස සියයට පහළොවක් බවත්, සියයට 30ක් කිසිදු තෘප්තිමත්භාවයක් නොලබන බවත්, සමීක්ෂණයේදී තොරතුරු හෙළිවීයැයි හෙතෙම පවසයි.

ජනතාවගෙන් සියයට පනස් පහක් ප්‍රකාශ කරන්නේ, රාජ්‍ය අංශයේ සේවය ගැන සාමාන්‍ය මට්ටමින් සැහීමකට පත්විය හැකි බව යැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල ඉහළ මට්ටමේ අකාර්යක්ෂමතාව සියයට 27ක්ද ඉහළ මට්ටමේ නිලධාරීවාදය සියයට පහළොවක් ඇති බවද ප්‍රකාශ කරන බව මහාචාර්යවරයා සඳහන් කර ඇත.(ලංකාදීප)