November 24, 2026

ඉන්දියාවේ විශාලතම බෝතල් කළ පානීය ජල සන්නාමය වන බිස්ලෙරි ඉන්ටර්නැෂනල් සමාගමේ ඇසුරුම් කළ පානීය ජල සාම්පලයක් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වීමත් සමඟ, එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉන්දීය ආහාර සුරක්ෂිතතා නියාමන ආයතනය අනුමැතිය ලබා දී තිබේ.

ඉන්දීය ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය සඳහන් කළේ, රසායනාගාර පරීක්ෂණවලදී අදාළ ජල සාම්පලයේ අනුමත සීමාවන් ඉක්මවා Bromate රසායනිකය අඩංගු වී ඇති බවට අනාවරණය වූ බවයි.

සමාගම විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයකින් අනතුරුව සිදු කළ වැඩිදුර රසායනාගාර පරීක්ෂණවලදී ‘පොලිසයික්ලික් ඇරෝමැටික හයිඩ්‍රොකාබන්’ (PAHs) ද එම සාම්පලයේ තිබී හඳුනාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා නීති යටතේ එය පරිභෝජනයට අනාරක්ෂිත සාම්පලයක් ලෙස වර්ගීකරණය කර ඇත.

මේ අනුව, රට පුරා ඇති බිස්ලෙරි සහ අනෙකුත් සියලුම බෝතල් කළ පානීය ජල නිෂ්පාදකයින්ගේ සාම්පල ඇතුළත් වන පරිදි පරීක්ෂණ පුළුල් කිරීමට බලධාරීන් පියවර ගන්නා බව රජයේ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, බිස්ලෙරි සමාගම මෙම පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර, තම පානීය ජලය පරිභෝජනයට ආරක්ෂිත බවත් නිෂ්පාදන ක්‍රියාවලියේදී තත්ත්ව පරීක්ෂණ 90කට අධික සංඛ්‍යාවක් සිදු කරන බවත් අවධාරණය කරයි.

එමෙන්ම, අදාළ ගැටලුසහගත නිෂ්පාදන කාණ්ඩයට අයත් කිසිදු බෝතලයක් නැවත කැඳවීම සඳහා මේ වන විට වෙළඳපොළේ නොමැති බවට සමාගම මීට පෙර බලධාරීන් වෙත දැනුම් දී තිබිණි.

2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් පමණ වටිනාකමකින් යුක්ත වූ ඉන්දියාවේ ඇසුරුම් කළ පානීය ජල වෙළඳපොළ තුළ බිස්ලෙරි සමාගම පෙප්සිකෝ සමාගමේ ඇක්වාෆිනා සහ කොකා-කෝලා සමාගමේ ‘කින්ලි’ සන්නාම සමඟ තරඟ කරයි.

මෙම පරීක්ෂණ සොයාගැනීම් අදාළ වන්නේ එක් නිශ්චිත සාම්පලයකට පමණක් වන අතර, ඉන් සියලුම බිස්ලෙරි නිෂ්පාදන අනාරක්ෂිත බවට තහවුරු නොවන බව ද වාර්තා වේ