November 10, 2026

චීනය සිය ප්‍රධාන යුද ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් සහ ප්‍රහාරක නාවික බලඇණි යොදාගනිමින් බටහිර පැසිෆික් කලාපය තුළ දැවැන්ත යුධ අභ්‍යාසයක නිරත වන බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය, අඛණ්ඩව එම දූපත වටා පිහිටි ගුවන් සහ සාගර කලාප වෙත සිය යුධ ගුවන්යානා සහ නෞකා යැවීමට කටයුතු කරයි.

පසුගිය සතියේදී තායිවාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් ජෙනරාල් ජෝසෆ් වූ සිය X ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කළේ, තායිවානයට ඔබ්බෙන්, දකුණු චීන මුහුදේ සහ පැසිෆික් කලාපය තුළ චීන නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 100 කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවයි.

චීනය මෙතෙක් නිල වශයෙන් කිසිදු යුධ අභ්‍යාසයක් ප්‍රකාශයට පත්කර නොමැති වුවද, තායිවානයට ආසන්නයෙන් චීන ගුවන් හමුදා යානාවල සැරිසැරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, Liaoning ගුවන්යානා ප්‍රවාහන නෞකා බලඇණිය සහ අනෙකුත් නාවික පුහුණු කණ්ඩායම් එක්ව බටහිර පැසිෆික් කලාපයේ මෙම අභ්‍යාස සිදුකරන බව තහවුරු වී ඇති බවයි.

‘ප්‍රවේශය තහනම්’ යුධ අභ්‍යාසයක ප්‍රධාන අරමුණ වන්නේ යම් ගැටුමකදී බාහිර පාර්ශවයන් මැදිහත් වීම වැළැක්වීමයි. තායිවාන අර්බුදය හමුවේ බීජිං පාලනය ප්‍රහාරයක් එල්ල කළහොත්, තායිවානයේ සහයට ඇමරිකානු හෝ වෙනත් මිත්‍ර පාක්ෂික බලවේග පැමිණීම වැළැක්වීම සඳහා මෙම ක්‍රමවේදය භාවිත වේ.

කෙසේ වෙතත්, තායිවාන ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

චීනය මෙම යුධ අභ්‍යාස ක්‍රියාත්මක කරන්නේ ලබන සතියේ ෂෙන්ෂෙන් හිදී පැවැත්වීමට නියමිත ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා රාජ්‍ය නායක සමුළුවට සහ මෙම මස අගදී පැවැත්වෙන තායිවාන පළාත් පාලන මැතිවරණයට ආසන්නව වීම විශේෂත්වයකි. මෙම APEC සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ සඳහන් කළේ, චීනයේ මෙම හමුදාමය ක්‍රියාකාරකම් පිළිබඳව සිය ආරක්ෂක බලකායන් ඉතා සමීපව සහ දැඩි අවධානයෙන් පසුවන බවයි.

මෙවැනි හමුදාමය තර්ජන එල්ල කිරීම් මගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය බිඳවැටෙන බව තායිවානය විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.