November 8, 2026

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනමින් විවාද දෙකක් ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව අද (08) දිනැතිව මෙම ලිපිය යොමුකර ඇත.

පසුගිය කාලසීමාව තුළ බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රචාරණයන් පිළිබඳව බරපතළ අවධානය යොමුවිය යුතු බවත් එම ලිපියේ දැක්වේ.

එමෙන්ම, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු හා නියෝග ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරුකිරීමට ලක්වීම හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මහජනතාව තුළ බරපතළ සැකසංකා මතුව ඇති බවද මහලේකම්වරයා පෙන්වාදෙයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හමුවේ මෙම ජාතික වශයෙන් වැදගත් කරුණු යටපත් වීමට ඉඩ නොතබා, පාර්ලිමේන්තුවේදී විවාද දෙක ලබා ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුමය හා දේශපාලනික මැදිහත්වීම සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.