November 5, 2026

තිස්සමහාරාම අධිකරණ බල සීමාවට අයත් රක්ෂිත ප්‍රදේශයකින් බැහැර ප්‍රදේශයක් වන බැබව උද්දකන්දර වන සංරක්ෂිත කලාපයේ දී ජීවී වන සතුන් සහ අජීවී වන සත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතිකයන් දෙදෙනෙකු හා දේශීය සංචාරක මගපෙන්වන්නෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම පිරිස උරගයින් සහ කෘමි සතුන් එකතු කරන බවට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් සංචාරකයන් ලෙස පෙනී සිටිමින් රාත්‍රියේ ස්ථාන කිහිපයක රැඳී සිට තිබේ.

එහිදී ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනෙකු සහ දේශීය සංචාරක මගපෙන්වන්නෙකු නිරීක්ෂණය කර ඇති අතර තමන් වනජීවී නිලධාරීන් බවට හඳුන්වා දීමෙන් පසු ඔවුන් පරීක්ෂා කර ඔවුන් රැඳී සිටි යාල නම්බා නම් කඳවුරු බිම ද පරීක්ෂා කළ ද නීතිවිරෝධී කිසිවක් නිරීක්ෂණය වී නොමැත.

අනතුරුව දේශීය මගපෙන්වන්නා රැඳී සිටි නවාතැන පරීක්ෂා කිරිමේදී ඔහු නවාතැන ලෙස වෙනත් කාමරයක් පෙන්වීමෙන් පසු සැකසිතූ වනජීවී නිලධාරීන් එම ආයතනයේ කළමනාකරු ගෙන් විමසා මග පෙන්වන්නාගේ කාමරය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

එහිදී සළඹයින්, උරගයින්, ඉත්තෑකූරු, කෘමි සතුන්, හතු , ගවයෙකුගේ දත්, මුව අස්ථි, බත්කූරන්, මොනර පිහාටු, සජීවී පිඹුරන්, සතුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණ , විවිධ රසායනික වර්ග අඩංගු බෝතල්, සත්ව සාම්පල රඳවන, සර්පයින් ඇල්ලීමට භාවිතා කරන උපකරණ ආදී විශයෙන් නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ජීවී වන සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදෙන ලෙස නියෝග කර නැවත හෙට දිනයේදී නඩුව කැඳවීමට නියෝග කර තිබේ.