October 29, 2026

අතීතයේ සිටම පාප්වහන්සේලාට දේශීය හා විදේශීය බැතිමතුන් වෙත සමීප වීමට අවස්ථාව සැලසූ, වසර සියයකට ආසන්න ඉතිහාසයක් හිමි සුප්‍රකට ‘පෝප් රථය’ ඇගයීමේ විශේෂ ප්‍රදර්ශනයක් වතිකානුව විසින් ආරම්භ කර තිබේ.

A Century of the Popemobile තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ පෙරදසුනක් වතිකානු කෞතුකාගාරය විසින් බදාදා එළිදක්වන ලදී. එහිදී 1930 වසරේ සිට පාප්වහන්සේලා භාවිත කළ මර්සිඩීස්-බෙන්ස් වර්ගයේ රථ 8 ක් ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය මහජනතාව සඳහා නිල වශයෙන් විවෘත වේ.

මේ අතර, මෝටර් රථ සඳහා විශේෂ ලැදියාවක් දක්වන ලියෝ XIV පාප්වහන්සේ, මර්සිඩීස්-බෙන්ස් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ශුද්ධෝත්තම ආසනය සමඟ පවතින සබඳතාව වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළහ. එහිදී අදහස් දැක්වූ පාප්වහන්සේ, මෝටර් රථ තාක්ෂණයේ දියුණුවත් සමඟ පාප්වහන්සේලාගේ විදේශ සංචාරවලද කැපී පෙනෙන වර්ධනයක් සිදු වූ බව සඳහන් කළහ.

වතිකානු කෞතුකාගාර ප්‍රදර්ශනයේ ඇති පැරණිතම මෝටර් රථය 1930 මැයි 23 වන දින XI වන පියුස් පාප්වහන්සේට තිළිණ කරන ලද්දකි. මෙම ‘මර්සිඩීස්-බෙන්ස් නියුර්බර්ග් 460’ රථය සුඛෝපභෝගී අසුනකින් සහ උසස් තත්ත්වයේ ලී හා ලෝහ නිමාවකින් සමන්විත වේ.

එය “විශේෂයෙන්ම පාප්වහන්සේගේ භාවිතය සඳහාම සැලසුම් කර නිෂ්පාදනය කරන ලද්දක්. සාමාන්‍ය නිෂ්පාදනයකින් ඔබ්බට ගිය අනන්‍යතාවක් ඊට හිමිව තිබෙන්නේ කෙසේද යන්න සසඳා බැලීමේදී පැහැදිලි වෙනවා,” යැයි වතිකානු කෞතුකාගාරයේ ඓතිහාසික එකතු කිරීම් පිළිබඳ අංශයේ භාරකරු සැන්ඩ්‍රෝ බාබගල්ලෝ පැවසීය.