October 25, 2026

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබියදී විදේශගත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලී’ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනෙකුට, ඔවුන්ට එරෙහිව පියවර නොගැනීමට හේතු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අසංක සඳරුවන් සහ වජිර රණසිංහ යන නීතිඥවරුන්ට මෙලෙස තරයේ අවවාද කළ ශ්‍රේෂ්ඨාධිකරණය, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.

මීට අමතරව, මෙම පෙත්සමේ සෙසු පාර්ශ්වයන් වන සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන ද සිල්වා යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංගගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ ප්‍රේමලාල් ජයසේකර රටින් පිටව ගොස් ඇති බවයි.

එහිදී ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් පෙනී සිටීමට උපදෙස් ලැබුණේ කෙසේදැයි අගවිනිසුරුවරයා අදාළ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

ප්‍රේමලාල් ජයසේකර අගෝස්තු 31 වැනිදා රටින් පිටව ගොස් තිබියදී, සැප්තැම්බර් 04 වැනිදා ඔහු වෙනුවෙන් පෙනී සිටියේද යන්නත්, ඔහු රටින් පිටව ගිය බව නීතිඥවරුන් දැන සිටියේද යන්නත් අගවිනිසුරුවරයා විමසා සිටියේය.

එම ප්‍රශ්නයට නීතිඥවරුන්ගෙන් පිළිතුරක් නොලැබීම හේතුවෙන්, ඔවුන්ට එරෙහිව පියවර නොගැනීමට හේතු දක්වන ලෙස අධිකරණය නියෝග කළේය.

අදාළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දෙන ලෙස අධිකරණය විසින් පොලිස්පතිවරයාට ද නියෝග කර තිබේ.

මෙම පෙත්සම නැවත ලබන දෙසැම්බර් 02 වැනිදා කැඳවීමට නියමිතය.