October 25, 2026

ගල්කිරියාගම පොලිස් බලප්‍රදේශයට අයත් මනේරුව, වම්බටුවැවේදී සිදු වූ කිඹුල් ප්‍රහාරයකින් 12 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මනේරුව මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

ඔහු ඊයේ පස්වරුවේ වැඩිහිටි කාන්තාවක සමඟ දිය නෑම සඳහා වැව වෙත ගොස් තිබේ. සිසුවා ජලයේ මදක් ගිලී තිබූ දිය නාන තොටුපළක පඩිපෙළ මත වාඩි වී සිටියදී, වැවේ රැඳී සිටි කිඹුලකු එකවරම ඔහුව ඩැහැගෙන වතුර යටට ඇදගෙන ගොස් ඇත.

ප්‍රදේශවාසීන් විසින් පැය ගණනාවක් තිස්සේ සිදුකළ සෙවුම් මෙහෙයුමකින් පසුව සිසුවාගේ මළසිරුර වැවෙන් සොයාගැනීමට හැකිව තිබේ.

මෙම වැවේදීම කිඹුල් ප්‍රහාරයකට ලක්ව ළමයෙකු මියගිය දෙවැනි අවස්ථාව මෙය බව වාර්තා වේ.

මීට අමතරව, වම්බටුවැවේදී සිදුවූ වෙනත් කිඹුල් ප්‍රහාරයකින් වැඩිහිටි පුද්ගලයකුගේ අතක කොටසක්ද අහිමි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.