October 24, 2026

රජයේ වාහනයක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව, හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සෙනසුරාදා (ඔක්තෝබර් 24) සිංහල භාෂා රාජ්‍ය පුවත්පතක ප්‍රසිද්ධ ක්ෂමා ප්‍රකාශයක් පළකර තිබේ.

මෙම ක්ෂමා ප්‍රකාශ දැන්වීම පළකර ඇත්තේ, ෆවුසිට රුපියල් මිලියන 6.6 ක පමණ මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රසිද්ධ ක්ෂමා ප්‍රකාශ පළ කරන ලෙසත් නියෝග කරමින් පසුගිය සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුවය.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබාදුන් වාහනයක් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සඳහන් වන සමනාත්මතාවය පිළිබඳ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.

ඔහුගේ මෙම හැසිරීම ‘මහජන විශ්වාසය පාවාදීමක්’ ලෙස අධිකරණය විසින් විස්තර කරන ලදී.

අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, ජානක ද සිල්වා සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

අදාළ වාහනයේ ඡායාරූපයක් ද සහිතව පිටුවෙන් අඩක ප්‍රමාණයේ ක්ෂමාප්‍රකාශ දැන්වීම් ‘සිළුමිණ’, ‘සන්ඩේ අබ්සර්වර්’ සහ ‘තිනකරන්’ යන රාජ්‍ය පුවත්පත්වල පළ කරන ලෙස ද අධිකරණය විසින් ෆවුසිට නියෝග කරන ලදී.