October 23, 2026

හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරය දැරූ කාලය තුළ සේවය කළ ආර්ථික උපදේශකයින් සම්බන්ධයෙන්  ඔහුගේ කාර්යාලය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, දුමින්ද හුලංගමුව ඔහුගේ ප්‍රධාන ආර්ථික උපදේශකයින් අතර නොසිටි බව එහි සඳහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය සඳහන් කළේ ඔහු ජනාධිපති සහ මුදල් අමාත්‍ය ධුර දැරූ සමයේ ඔහුට ප්‍රධාන ආර්ථික උපදේශකයින් තිදෙනෙකු සිටි බවයි.

හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වත්මන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම උපදේශකයින් තිදෙනා වේ.

2022 වසරේ පැවැති ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි බවට එකල ප්‍රකාශ වී තිබියදී පවා, රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් පසු මෙම උපදේශකයින් තිදෙනා පත්කරගත් බව එම නිවේදනයේ දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු දෙස් විදෙස් ප්‍රධාන පෙළේ ආයතන සමඟ පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ද මෙම නිලධාරීන් තිදෙනා බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ද මෙම නිලධාරීන් පෙනී සිටි බව එම නිවේදනය මගින් මතක් කර දී ඇත.

මේ අතර, දුමින්ද හුලංගමුව රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු නොකළ බව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය අවධාරණය කරයි. ඔහු වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් රටේ ආර්ථික වර්ධන උපාය මාර්ගයට දායක වූ විශේෂිත කමිටුවක සාමාජිකයෙකු ලෙස පමණක් කටයුතු කළ බව එහි සඳහන් වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායකට ද උපදෙස් ලබා දෙන බවට විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මීට පෙර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.