October 23, 2026

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ.

මොලගොඩ කොටමුඩුංගල රජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් මීට පෙර ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී සහ දර්ශනපති උපාධි ලබා ඇති උන්වහන්සේ, ඉන්දියාවේ දල්ලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධි ලබාගෙන තිබේ.

මීට අමතරව උන්වහන්සේ චීනයේ බීජිං විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ද හදාරා ඇත.