October 23, 2026

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශව වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා ඇති තහනම් නියෝග පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කරුණු පැහැදිලි කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, කොළඹ විහාරමහාදේවි උද්‍යානය සහ ඒ අවට ඇති මාර්ග, පදික වේදිකා මෙන්ම පොදු ස්ථානවලට බාධා නොවන පරිදි කටයුතු කරන ලෙස විරෝධතාකරුවන්ට නියෝග කර ඇත.

විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසල පරිශ්‍රය, එෆ් ආර් සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) සහ මල් පාර යන ප්‍රදේශ මෙම සීමා කිරීම්වලට අයත් වේ.

එමෙන්ම මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පරිශ්‍රයේ සහ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසල පරිශ්‍රයේ රැඳී සිටිමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වීම ද අධිකරණය විසින් තහනම් කර තිබේ.

ඊට අමතරව රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි සිදු නොකරන ලෙස ද විරෝධතාකරුවන්ට නියෝග කර ඇත.

පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු අනෙකුත් භික්ෂූන් වහන්සේලාට, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මෙම විරෝධතාවයට එක්ව සිටින පිරිස් වෙත මෙම නියෝගය බලපැවැත්වේ.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද කරුණු දැක්වීමකට අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(3) වගන්තිය ප්‍රකාරව ක්‍රියා කිරීමට පොලිසියට බලය හිමිවන අතර, අධිකරණ නියෝගය කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.