October 23, 2026

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ කරුණු ඇතුළත් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

මේ දිනවල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ඔහුගේ ලේකම්වරයෙකු විසින් මෙම ලිපිය කෙටුම්පත් කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක විසින් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවකදී මෙම ලිපිය ඔහු වෙත භාර දී ඇති බවයි.

එම ලිපිය මඟින් හිටපු ජනාධිපතිවරයා සිය පුතුට අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිවක් කෙරෙහි නොව අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි.

2010 වසරේදී නාමල් දේශපාලනයට පිවිසීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී තමන් ඊට අවසර දුන්නේ “සිරගත වීමට සහ දුක් විඳීමට සූදානම් නම් පමණක්” බවද මහින්ද රාජපක්ෂ මෙහිදී සිහිපත් කර ඇත.

තමන්ද දේශපාලන ගමනේ මුල් සමයේ පදනම් විරහිත චෝදනා මත බන්ධනාගාරගත වූ බව එහි දක්වා තිබේ.

තමන් සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මේ වන විට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, යෝෂිත සහ රෝහිත පුතුන් දෙදෙනා තමන්ගේ සුවදුක් සොයාබලන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් එම ලිපියෙන් නාමල් වෙත දැනුම් දී ඇත.