October 23, 2026

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල පැවැත්වෙන විරෝධතා භූමියේදී තහනම් පිහි දෙකක් ද සමඟ අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කුරුඳුවත්ත පොලිස් බලප්‍රදේශයට අයත් එම විරෝධතා භූමියේ සිදුකළ පරීක්ෂාවකදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

රාගම, කඳලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මෙම විරෝධතාවයට දින කිහිපයක සිට සහභාගී වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු මෙම විරෝධතා භූමිය තුළදී කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කළේද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ. මෙම නඩුව නැවත නොවැම්බර් 30 වනදා කැඳවීමට නියමිතය.