October 23, 2026

පාකිස්ථානයේ රාවල්පින්ඩි හි පැවැති එක්දින තුන්කොන් තරගාවලියේදී එංගලන්තය රැස් කළ ලකුණු 429ක දැවැන්ත ඉලක්කය හඹා ගොස් ශ්‍රී ලංකාව වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සහ එංගලන්ත හිටපු නායක නසීර් හුසේන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ.

මෙය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

තරගයෙන් අනතුරුව පැවැති රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් නසාර් හුසේන් පැවසුවේ ශ්‍රී ලංකාව වැනි දක්ෂ, ක්‍රිකට්වලට ආදරය කරන රටකට මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් අත්‍යවශ්‍යව තිබූ බවයි.

පවන් රත්නායක (130), අවිශ්ක ප්‍රනාන්දු (97), දසුන් ශානක (97) සහ තරගය නිමා කළ ජනිත් ලියනගේ (නොදැවී 61) පෙන්වූ දක්ෂතා දෙදෙනාගේම පැසසුමට ලක්විය.

විශේෂයෙන්ම අවසන් පන්දු වාරයේදී පීඩනය පාලනය කරගනිමින් ජයග්‍රාහී හයේ පහර එල්ල කළ ජනිත් ලියනගේගේ මානසික ඒකාග්‍රතාව හුසේන්ගේ විශේෂ ඇගයීමට ලක්විය.

කෙසේවෙතත්, මෙම ජයග්‍රහණයෙන් කණ්ඩායමේ අඩුපාඩු වැසී නොයායුතු බව කුමාර් සංගක්කාර අවධාරණය කළේය.

පන්දු යැවීම, පන්දු රැකීම සහ මුල් පන්දුවාර 10 තුළ පවතින දුර්වලතා වහාම නිවැරදි කරගත යුතු බව ඔහු පැවසීය.

එමෙන්ම, ලකුණු 97ක් රැස්කළ දසුන් ශානකව පිතිකරණ අනුපිළිවෙළේ ඉහළට එවීම වැනි උපායමාර්ගික තීරණ අගය කළ සංගක්කාර, පවන් රත්නායක වැනි නැගීඑන ක්‍රීඩකයන්ට දිගුකාලීන අවස්ථාවන් ලබාදෙමින් කණ්ඩායම් තේරීමේ ස්ථාවරත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වාදුන්නේය.

අවසාන වශයෙන් සංගක්කාර සඳහන් කළේ, මෙම ඓතිහාසික ජයග්‍රහණය සමරන අතරම, ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් කණ්ඩායමේ ස්ථාවරත්වය සහ දක්ෂතා තවදුරටත් වර්ධනය කරගැනීමට තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් අවධානය යොමුකළ යුතු බවයි.