October 23, 2026

බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 22) පාකිස්ථානයේ රාවල්පින්ඩි හි පැවැති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී, එංගලන්තය පරාජය කරමින් කඩලු 2ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් තරගයේ පන්දු වාරයේ අවසන් පන්දුවට පෙර හඹායමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 429ක් රැස් කළේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ එංගලන්ත නායක හැරී බෲක් පන්දු 116කදී ලකුණු 202ක් රැස් කිරීමට සමත් විය.

මෙය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත පිතිකරුවකු රැස්කළ ඉහළම තනි පුද්ගල ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 130ක් රැස්කරමින් ජයග්‍රහණයට ශක්තිමත් පදනමක් දැමූ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 97ක් සහ දසුන් ශානක ලකුණු 97ක් රැස්කළහ.

තරගයේ අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 61ක් ලබාගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 49.5කදී කඩලු 8ක් දැවී ලකුණු 430ක් ලබාගත්තේය.

මෙම ජයග්‍රහණය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹාගිය දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වේ.