October 22, 2026

ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරමින් විවිධ ජනකොටස් අතර ජාතික හා ආගමික නොසන්සුන්තා ඇති කිරීමට දරන උත්සාහයන් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසර 10 ක කාලය තුළ ද්වේෂසහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 6 ක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන පවත්වා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාමත් සමඟ, දේශීය මෙන්ම විදේශගතව සිටින ඇතැම් පුද්ගලයින් ව්‍යාජ ගිණුම් උපයෝගී කරගනිමින් විවිධ ජනකොටස් අතර ජාතිවාදී සහ ආගමික නොසන්සුන්තාවන් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පැමිණිලි ලැබී නොතිබීම, ඇතැම් ගිණුම් හිමියන් විදේශයන්හි සිට ක්‍රියාත්මක වීම සහ දැනට පවතින නීතිමය ප්‍රතිපාදනවල පවතින අඩුපාඩු හේතුවෙන් මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැටලුවලට මුහුණ දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාජ ගිණුම් පිටුපස සිටින පුද්ගලයින් හඳුනාගෙන අදාළ සිදුවීම් පිළිබඳව විමර්ශන කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එල් ඒ එම් හිස්බුල්ලා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මුස්ලිම් ජාතිකයින්ගේ නම්වලින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සාදා ද්වේෂසහගත ප්‍රකාශ පතුරුවා හැරීමේ චෝදනාව මත ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සැකකරු මුස්ලිම් නම් භාවිත කරමින් වට්ස්ඇප් සමූහ සාදා, 2026 නොවැම්බර් 11 වනදා ශ්‍රී දළදා මාළිගාව ඇතුළු බෞද්ධ ආගමික ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට සඳහන් කරමින් පණිවුඩ සංසරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළේය.