October 22, 2026

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හරහා ගමන් කිරීම සඳහා අවශ්‍ය සංක්‍රමණික වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2023 වසරේ සිට කුක් දූපතේ අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක, තමන්ට නැවත මව්බිමට පැමිණීමට අවස්ථාව ලබා දෙන්නේ නම් රැඳවුම් භාරයේ සිටීමට පවා සූදානම් බව ප්‍රකාශ කර ඇති බව Cook Islands News පුවත් සේවය වාර්තා කරයි.

49 හැවිරිදි මෙම කාන්තාව කුක් දූපත් සමූහයේ වැඩිම ජනගහනයක් වෙසෙන රාරෝටොංගා හි දැනට ජීවත් වන අතර, එරට ආගමන විගමන නීතිවලට අනුව ඇය මේ වන විට නීති විරෝධී ලෙස අතිරේක කාලයක් රැඳී සිටින්නියක ලෙස සැලකේ. කෙසේ වෙතත්, ඇයට ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය හරහා ගමන් කිරීමට අවසර නොලැබෙන්නේ නම් ඇයව නැවත මව්බිමට පිටුවහල් කිරීමට කුක් දූපත් ආගමන විගමන බලධාරීන්ට ද හැකියාවක් නොමැත.

‘කුක් අයිලන්ඩ්ස් නිවුස්’ වාර්තාවට අනුව, මෙම කාන්තාව නවසීලන්තය හරහා ගමන් කිරීමට පමණක් බලාපොරොත්තු වන බව විශ්වාස කළ නොහැකි බව නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එසේම ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇගේ පෞද්ගලික සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට හෝ එහි රැඳී සිටීමට අපේක්ෂා කරන සියලුම විදේශිකයන් 1958 සංක්‍රමණික පනත සහ 1994 සංක්‍රමණික රෙගුලාසිවලට අනුව අනන්‍යතාව, සෞඛ්‍යය, චරිත සහතිකය සහ ආරක්ෂක පරීක්ෂාවන් ඇතුළු සියලු අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවයි.

තම සැමියාගේ ඝාතනයෙන් පසු මෙම කාන්තාව ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් වසරකට ආසන්න කාලයක් හොංකොං හි සේවය කර ඇත. පසුව 2023 මාර්තු මාසයේදී නවසීලන්ත රැකියා වීසාවක් ලබාගෙන ඇති ඇය, එරට සේවය කරන අතරතුර දේශපාලන රැකවරණය ඉල්ලා අයදුම් කර තිබේ.

ඇගේ ඉල්ලුම්පත්‍රය ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර, ඇයට සහාය වූ නීතිඥවරයෙකු උපදෙස් දී ඇත්තේ නවසීලන්තයෙන් පිටව ගොස් පසුව නැවත පැමිණෙන ලෙසයි.

‘කුක් අයිලන්ඩ්ස් නිවුස්’ පුවත් සේවය නිරීක්ෂණය කර ඇති විද්‍යුත් තැපැල් පණිවුඩවලට අනුව, නවසීලන්ත රැකියා බලපත්‍රය ලබා ගැනීමට සහ පසුව රැකවරණය ඉල්ලා ඉල්ලුම් කිරීමට ඇය Immigration and Secretarial Services නමැති ආයතනයක සහාය ලබාගෙන ඇත. එම ආයතනයේ සේවාවන් වෙනුවෙන් ඇය ඇමරිකානු ඩොලර් 20,000 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එම ආයතනයේ අධ්‍යක්ෂවරිය වන සිල්වියාන් ගැලන්ට්, 2024 පෙබරවාරි මාසයේදී මෙම කාන්තාව වෙත පවසා ඇත්තේ ඇගේ නඩුව නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ පවතින බැවින් ඒ සඳහා නීතිමය සහාය ලබාගන්නා ලෙසයි. එසේම, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මට්ටමේ මැදිහත්වීමක් ලබාගැනීම සඳහා වූ ඉල්ලීමක් සූදානම් කරමින් පවතින බවද ගැලන්ට් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ ලිපිගොනු සහ පණිවුඩවලට අනුව, මෙම කාන්තාව නවසීලන්තයේ හිටපු නියෝජ්‍ය ආගමන විගමන අමාත්‍ය ක්‍රිස් පෙන්ක්ගෙන්ද සහාය ඉල්ලා ඇත. කෙසේ වෙතත්, ක්‍රිස් පෙන්ක් මේ වන විට අමාත්‍ය ධුරයක් නොද දරන බැවින්, ඔහුගේ කාර්යාලය විසින් මෙම ඉල්ලීම වත්මන් නියෝජ්‍ය අමාත්‍ය කැමරන් බෲවර් වෙත යොමු කර තිබේ.

පෞද්ගලිකත්වය සහ නීතිමය කරුණු හේතුවෙන් මෙම සිද්ධියේ විශේෂිත තොරතුරු පිළිබඳව අදහස් දැක්වීම කැමරන් බෲවර්ගේ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම කාන්තාව තවදුරටත් කුක් දූපත් හි රැඳී සිටින අතර ජීවත්වීම සඳහා පවුලේ සහාය මත යැපේ. එරට රැඳී සිටීමට ඇයට වලංගු වීසාවක් නොමැති වුවද, සංක්‍රමණික වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇයට එරටින් පිටව යාමටද නොහැකි වී තිබේ.

ඇය ටාහිටි හරහා ගමන් කිරීමටද උත්සාහ කර ඇති නමුත් එම අවස්ථාවද ඇයට අහිමි වූ බව ඇය පවසන්නීය. කෙසේ වෙතත්, අවශ්‍ය නීතිමය පටිපාටිය අනුගමනය කරන්නේ නම් නෞකාවකින් හෝ පිටව යාමට තමන් සූදානම් බව ඇය ප්‍රකාශ කර ඇත.

මෙම කාන්තාවගේ සිදුවීම මගින් රටවල් කිහිපයක ආගමන විගමන නීති අතර සිරවී සිටින පුද්ගලයෙකු මුහුණ දෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය පැහැදිලි වන අතර, ඇයට නැවත මව්බිමට පැමිණීමට නම් සුදුසු සංක්‍රමණික මාර්ගයක් සපයා ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.