October 22, 2026

ශ්‍රී ලංකාවේ විශාලතම දළ යුගල හිමි ඇතා ලෙස සැලකෙන ‘මහසෙන්’ ඇතා අතුරුදහන් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

‘මහසෙන්’ ඇතා මරදන්කඩවල ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති අතර, විටින් විට රිටිගල, කන්තලේ, කවුඩුල්ල, මින්නේරිය සහ සෝමාවතිය ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇති බව ඔහු පැවසීය.

මියගිය ‘කාවන්තිස්ස’ ඇතාට වඩා විශාල දළ යුවලක් ‘මහසෙන්’ ඇතාට හිමි බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා, ඇතාගේ අතුරුදහන් වීම පිළිබඳව සිය කනගාටුව පළකළේය.

සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ඇතුන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වාදෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.