October 22, 2026

අලුතින් ගැසට් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

මෙම පනත් සම්මත වීමෙන් විධායකයට අසාමාන්‍ය බලතල හිමිවන අතර, අධිකරණ අධීක්ෂණය සහ පුද්ගල නිදහස දැඩි ලෙස සීමා වන බවට නීතිඥ සංගමය චෝදනා කරයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පනත් කෙටුම්පත සකස් කිරීමේ සාකච්ඡා සඳහා තමන් සහභාගී වූවත්, සමාලෝචන කමිටු සාමාජිකයන්ට දැනුම් දීමකින් තොරව අවසන් ගැසට් පත්‍රයට ඇතුළත් කළ පනත් කෙටුම්පත අනුමත කරන ලද මූලික කෙටුම්පතෙන් සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. මේ හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(d), 10, 11, 12, 13, 14 සහ 14A යන ව්‍යවස්ථාවලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙම පනත මගින් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් නීතිඥ සංගමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ද ගොනු කර ඇත.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ සංගමය, මහේස්ත්‍රාත්වරුන්ගේ විචාරාත්මක බලය අහෝසි කරන අනිවාර්ය රක්ෂිත බන්ධනාගාරගත කිරීම්, ඇප ලබාදීම මහාධිකරණයට පමණක් සීමා කිරීම, දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම් සඳහා අධිකරණ අනුමැතිය අවශ්‍ය නොවීම සහ සංවිධාන තහනම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පමණක් කේන්ද්‍රගත කිරීම වැනි භයානක ප්‍රතිපාදන රැසක් එහි අඩංගු වන බව පෙන්වා දෙයි.

නීතිඥ හිජාස් හිස්බුල්ලා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම වැනි අතීතයේ සිදුවූ අත්තනෝමතික ක්‍රියාවන් මතක් කරමින්, මෙම නව වෙනස්කම් දශක ගණනාවක් පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අත්තනෝමතික භාවිතයන් නැවත මතක් කරදෙන බව සංගමය අවධාරණය කරයි.

එලෙසම, මහජන මත විමසීමකින් තොරව සකස් කරන ලද, අතිශය පෘථුල හා අනවශ්‍ය රෙගුලාසි ඇතුළත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ද නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කරයි. වසර හතරකට වැඩි සිරදඬුවම් නියම කළ හැකි වරදවල් මෙන්ම ප්‍රකාශන හිමිකම්, වනාන්තර සහ සුරාබදු ආදී වෙනත් පනත් 50 කට ආසන්න ප්‍රමාණයක සඳහන් වැරදි ද අපැහැදිලි ලෙස අර්ථ නිරූපණය කර ඇති “සංවිධානාත්මක කණ්ඩායම්” හා සම්බන්ධ බරපතල අපරාධ ලෙස වර්ගීකරණය කිරීම තුළින් සාමකාමී උද්ඝෝෂණ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සිවිල් සංවිධානවල කටයුතු අපරාධ ලෙස සැලකීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති.

තවද, අමාත්‍යාංශ ලේකම්වරයාට ඍජුව වසරක් දක්වා රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට ඉඩදීම, පොලිසිය හමුවේ කෙරෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම මගින් වරදකරු වන තෙක් අයෙකු වරදකරුවෙකු නොවන බව සැලකීමේ නීතිමය පදනම බිඳවැටීම සහ සාක්ෂිදීමේ බර චෝදනා ලබන්නා වෙත පැවරීම වැනි කරුණු ද මෙහි ඇතුළත් වේ.