October 21, 2026

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ ඔහුගේ සහකරු වන ආර්ජන්ටිනා හොකී ක්‍රීඩක නිකොලස් කීනන් තමන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

“ඉතාමත් විශේෂ කෙනෙක් අපේ ලෝකයට එන්න ලෑස්ති වෙනවා. පුංචි පැටියෝ, 2027දී හමුවෙමු,” යනුවෙන් ඔවුන් දෙදෙනා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණි.

“අපගේ ඩිම්බ දායකයාට, ආදේශක මව වන ලීසාට සහ ඔවුන්ගේ පවුල් දෙකට ස්තූති කිරීමට තරම් ප්‍රමාණවත් වචන නැහැ. ඔබ නොසිටින්නට මේ කිසිවක් සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ,” යනුවෙන් ද එම සටහනෙහි වැඩිදුරටත් දැක්වේ.

අග්‍රාමාත්‍ය ජෙටන් නියෝජනය කරන D66 පක්ෂය ද ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ගර්භණීභාවය සාක්ෂාත් කර ගැනීමට හැකි වූයේ දැනටමත් දරුවන් සිටින ඔවුන්ගේ සමීප මිතුරු යුවළකට පින්සිදු වන්නට බවයි.

“ආදේශක මව මෙන්ම ඩිම්බ දායකයා ද ලන්දේසි ජාතිකයන් වෙනවා. මෙය කිසිසේත්ම මුදලට කළ ආදේශක මාපිය භාවයක් නෙවෙයි. ආදේශක මව සහ ඩිම්බ දායකයා ජෙටන් සහ කීනන්ගේ හිතවතුන්. අනාගත පියවරුන් වන දෙදෙනාගේ දරුවෙකු ලැබීමේ සිහිනය මේ ආකාරයෙන් සැබෑ කර දීමට ලැබීම ගැන ඔවුන් මහත් සතුටට පත්වෙනවා,” යනුවෙන් එම පක්ෂ‍ය නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

ජෙටන් සහ කීනන් 2024 නොවැම්බර් මාසයේදී සිය විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කළහ.

“ආදේශක මවක් වීම කියන්නේ අපගේ ආදරණීය මිතුරන්ගේ සිහිනය සැබෑ කරදීමට ලැබුණු ඉතාමත් විශේෂිත වූ අවස්ථාවක්,” යනුවෙන් ආදේශක මව වන ලීසා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

1987 වසරේ දකුණු ඕලන්දයේ වෙගෙල් හි උපත ලැබූ ජෙටන්, ආසන්නයේ පිහිටි උඩන් හි හැදී වැඩුණි. නෙදර්ලන්තයේ දුම්රිය යටිතල පහසුකම් නඩත්තුව සඳහා වගකියනු ලබන ප්‍රෝරේල් ආයතනයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පෙර ඔහු කළමනාකරණ විද්‍යායතනයෙන් උසස් අධ්‍යාපනය ලැබීය.

ඔහු 2017 වසරේදී D66 පක්ෂය නියෝජනය කරමින් නෙදර්ලන්තයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර, පසුව දැනට නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන හිටපු නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාක් රූට්ගේ රජය යටතේ දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.