October 21, 2026

‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව, මෙම සිදුවීම පිළිබඳව පුළුල් ලෙස පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද එම යෝජනාවට අත්සන් තැබූහ.

යෝජිත කාරක සභාව මඟින් මෙම ඇතාගේ මරණයට හේතු වූ පසුබිම් කරුණු අනාවරණය කර ගැනීමටත්, ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කර තිබේද යන්න තීරණය කිරීමටත් අපේක්ෂා කෙරේ.

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් වගවීම සහ සාධාරණත්වය ඉටු කිරීම තහවුරු කිරීම ද මෙම පියවරේ අරමුණ බව විපක්ෂය සඳහන් කළේය.

මෙම යෝජනාව ඉදිරියේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිතව ඇත.