October 22, 2026

ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අස්ථානගත වූ අවිශ්කා කෞමදී නමැති ශ්‍රී ලංකික තරුණියකට අයත් “චූටි” නම් බළලා, සතියක කාලයක් පුරා සිදුකළ දැඩි සෙවීමකින් පසු සොයාගෙන තිබේ.

ඔක්තෝබර් 11 වන දින ඩුබායි සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් ප්‍රවාහන කටයුතු සිදුකෙරෙමින් පවතින අවස්ථාවේදී මෙම බළලා එහි කූඩයෙන් පැන ගොස් අස්ථානගත වී තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඩුබායි ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් නවතම තොරතුරු වලට අනුව, දීර්ඝ හා වෙහෙසකර සෙවීමකින් අනතුරුව මෙම බළලා ගමන් මලු රඳවන carousel tunnel තුළ සිටියදී සොයාගෙන තිබේ.

මෙම සෙවීම කැපවීම, නොපසුබට උත්සාහය සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වූ මෙහෙයුමක් ලෙස ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය විසින් විස්තර කර ඇත.

ගුවන් සේවයේ භාරකාරීත්වය යටතේ සිටියදී මෙම සුරතලා අස්ථානගත වීමත් සමඟම, අදාළ තරුණිය සිය සුරතලා සොයාගැනීමට බලධාරීන්ගෙන් සහය ඉල්ලා තිබුණාය.

ඇය තම ගුවන් ගමන පවා ප්‍රතික්ෂේප කරමින්, තම සුරතලා සෙවීම සඳහා පැය 28ක පමණ කාලයක් ගුවන්තොටුපොළ තුළ රැඳී සිටි බව වාර්තා වේ.