October 21, 2026

Telegram හරහා ප්‍රවර්ධනය කරන ලද ඔන්ලයින් ව්‍යාපාරික ක්‍රමයක් මඟින් මුදල් වංචා කළ බව කියන 26 හැවිරිදි සැකකරුවකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Telegram ඔස්සේ සම්බන්ධ කරගත් පුද්ගලයකු ඔන්ලයින් ව්‍යාපාරයක් හරහා පහසුවෙන් මුදල් ඉපයිය හැකි බවට පොරොන්දු ලබාදෙමින් සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ජාවාරම හරහා රුපියල් 1,357,220ක මුදලක් වංචා කර ඇති අතර ඉන් රුපියල් 151,000ක මුදලක් සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමටද බැර කරගෙන ඇති බව පොලිසිය අනාවරණය කර තිබේ.

මෙම මූල්‍ය වංචාවට සෘජුව සම්බන්ධ වීම සහ අපරාධයට අනුබල දීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.