October 21, 2026

‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය ලෝකයට හඳුන්වා දීම සහ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික නායකයන් මෙරට ආයෝජන සඳහා ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නිල ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලන්ඩන් නුවර වෙත ගොස් තිබේ.

අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලන්ඩන් නුවරදී මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

ඒ යටතේ අද දිනයේදී ව්‍යාපාරික හා ආයෝජන සංසදයක් සහ ජාලකරණ සැසියක් ද, හෙට දිනයේදී ද්විපාර්ශ්වික ව්‍යාපාරිකයින් අතර හමුවක් ද පැවැත්වීමට නියමිතය.

මෙම නියෝජිත පිරිසට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයාද ඇතුළත් වේ.

එක්සත් රාජධානියේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව විශ්වාසදායක සහ තරගකාරී වෙළෙඳ හා ආයෝජන හවුල්කරුවකු ලෙස ස්ථානගත කිරීම, දේශීය නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම මෙන්ම බ්‍රිතාන්‍ය සමාගම් මෙරට ආයෝජන හා හවුල්කාරිත්වයන් වෙත යොමු කරවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය යටතේ හිමිවන වරප්‍රසාද ලත් වෙළෙඳපොළ ප්‍රවේශයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සහ 2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය සඳහා ප්‍රබල බ්‍රිතාන්‍ය සහභාගීත්වයක් දිනා ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.