October 21, 2026

මිහින්තලේ මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද නාහිමියන්ට, එහි කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය පිළිබඳව දැනුම්දුන්නේ නැතැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පිළිතුරු ලබාදී ඇත.

පසුගියදා පැවැති කොත නිරාවරණය කිරීමේ උත්සවයේදී මිහින්තලේ හිමියෝ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ.

​”යම්කිසි කෙනෙක් කියනවානම් කිරිබත්ගොඩ හාමුදුරුවෝ අමතක කරලා මේ පින්කම කරා කියලා, ඒක මුසාවක්. අපි ‘අපේ මිහිඳු හාමුදුරුවෝ සහ පරිනිර්වාණය සහ මිහිඳු සෑය’ කියලා පොතක් තියෙනවා, ඒකේ හැට එක්වෙනි පිටුවේ හාමුදුරුවන්ගේ ඡායාරූපය තියෙනවා. අපි ඒ තරම් ගුණමකුවෝ නෙමෙයි. ඇතැම් අය, ඒ අය දන්නෙ නෑ මේ අර සමාජ මාධ්‍යයේ වැළපෙනවා මේක කිව්වෙ නෑ කියලා. ​ඉතින් උන්වහන්සේලාට අපි දැනුම් දුන්නා මෙහෙම සිද්ධියක් වෙනවා කියලා. නමුත් උන්වහන්සේලාගේ බැරිකම අපහසුතාවය නිසා සහභාගි වෙන්නට හැකියාවක් නෑ කියලා කිව්වා. ඉතින් උන්වහන්සේලාට බැරිනම්, දුටුගැමුණු රජ්ජුරුවෝ ලෙඩ ඇඳේ ඉන්නකොට සද්ධාතිස්ස රජ්ජුරුවෝ ඉතුරු ටික කරා…”