October 20, 2026

ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම මිලදී ගැනීම සඳහා පසුගිය 2026 පෙබරවාරි 23 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිවූ අතර, ඒ අනුව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයට යටත්ව ලංසු කැඳවීම සිදුකර ඇත. එහිදී ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.

එම ලංසු ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සලකා බලමින් සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Diesel and Motor Engineering PLC (DIMO) වෙතින් මෙම වාහන මිලදී ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එකතු කළ අගය මත බදු (VAT) රහිතව එක් රථයක් රුපියල් 4,785,000/- ක මිලකට ‘TATA YODHA PICKUP’ වර්ගයේ සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.