October 20, 2026

ඇත්දළ යොදාගනිමින් නිපදවන ලද ස්වර්ණාභරණ නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීමේ චෝදනාව මත 46 හැවිරිදි සැකකරුවකු වනජීවී නිලධාරීන් විසින් තිස්සමහාරාමය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව ජාතික වනෝද්‍යානයේ භාරකරු වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. එහිදී සැකකරු සතුව තිබී ඇත්දළවලින් සාදන ලද වළලු දෙකක් සහ පෙන්ඩන්ට් දෙකක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත වන සතුන්ගේ ශරීර කොටස් ළඟ තබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම හෝ අලෙවි කිරීම නීතියෙන් තහනම් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. එහිදී සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අධිකරණය, නඩුව නැවත විභාග කිරීම නොවැම්බර් 20 වැනිදාට කල් තබා ඇත.