October 20, 2026

වයඹ වනජීවී කලාපය භාර වනජීවී පශුවෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

පසුගියදා මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාට ප්‍රතිකාර කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට එල්ල වූ දැඩි චෝදනා සහ විවේචන හේතුවෙන් මෙම තීරණය ගත් බව පශුවෛද්‍ය හේවාකොට්ටගේ සඳහන් කර ඇත.

2016 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එක්වූ වෛද්‍ය හේවාකොට්ටගේ 2018 වසර දක්වා අනුරාධපුර පඬුලගම ප්‍රදේශයේ සේවය කළ අතර, පසුව නිකවැරටිය වනජීවී ඒකකය වෙත ස්ථාන මාරුවීම් ලැබීය.

එතැන් පටන් වයඹ කලාපයේ වනඅලින්, ඇතුන් ඇතුළු වනජීවීන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා ඔහු විශාල සේවයක් ඉටුකර තිබේ.

විශේෂයෙන්ම මුහුදු අනතුරුවලින් තුවාල ලබන කැස්බෑවන් බේරාගෙන නැවත මුහුදට මුදාහැරීමට ඔහු දැක්වූ දායකත්වය හේතුවෙන් ඔහු බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය.

මීට පෙරද ‘තේක්ක රාජා’ සහ ‘භාතිය’ යන ඇතුන්ට ප්‍රතිකාර කළද උන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීම නිසා වෛද්‍ය හේවාකොට්ටගේ මහජන විවේචනයට ලක්විය.

එලෙසම ‘කාවන්තිස්ස’ හස්තියාට මුලින්ම ප්‍රතිකාර කළ ඔහුගේ ප්‍රමාණවත් නොවන සත්කාර හේතුවෙන් අලියා මියගිය බවට ද චෝදනා එල්ල විය.

කෙසේවෙතත්, වාර්තා සඳහන් කරන්නේ ‘කාවන්තිස්ස’ හස්තියාට ලබාදුන් සියලුම ප්‍රතිකාර නියමිත ඖෂධ මාත්‍රාවන්ට අනුකූලව සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ, ප්‍රවීණ වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කර ඇත්තේ, වනජීවී පශු වෛද්‍යවරුන්ට හිතුමනාපයට ඖෂධ ලබාදිය නොහැකි බවත්, ප්‍රතිකාර නියමිත ක්‍රියාපටිපාටියට සහ නිර්දේශිත මාත්‍රාවලට අනුව සිදුකළ යුතු බවත්ය.

වෛද්‍ය හේවාකොට්ටගේ ප්‍රතිකාර ලබාදී ඇත්තේ එම සම්මත ක්‍රියාපටිපාටීන්ට අනුකූලව බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

තමන් කැපවීමෙන් සේවය කළද, නොකඩවා එල්ල වන මෙවැනි චෝදනා නිසා සිය රාජකාරි ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් තමන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වෛද්‍ය හේවාකොට්ටගේ පවසා ඇත.

ඔහු වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබුණද, සමස්ත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ම තවමත් නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බව වාර්තා වේ.