October 19, 2026

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු විසින් එම පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දුන් බවට චෝදනා කරමින් බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සිසුවා අසභ්‍ය වචන භාවිතා කළ බවට එල්ල වූ චෝදනාවක් මත මෙම පහරදීම සිදු කර ඇති බව පැවසේ.

අදාළ සිසුවාගේ පියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ, විදුහල්පතිවරයා විසින් සිය පුත්‍රයාගේ මුහුණට අවස්ථා කිහිපයකදී පහරදී ඇති බවයි.

එම පහරදීම හේතුවෙන් දරුවාගේ මුහුණේ තුවාල සලකුණු හටගෙන ඇති අතර, දත් මැදීමට පවා නොහැකි තරම් තදබල වේදනාවකින් දරුවා පෙළෙන බව ද පියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා ප්‍රථමයෙන් ප්‍රතිකාර සඳහා වෑතර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

සිසුවාගේ පියා විසින් මේ පිළිබඳව බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.