October 19, 2026

ශ්‍රී ලංකාවට තෑගි කළ අලි ඇතුන් දෙදෙනෙකු නැවත ගෙන්වාගැනීමට තායිලන්ත බලධාරීන්ට සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

මෙම අලි ඇතුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ඉතා හොඳින් පරීක්ෂාවෙන් සහ සුරක්ෂිතව පසුවන බවට තායිලන්ත බලධාරීන්ට සහතික වීම සඳහා තම අමාත්‍යාංශය ඔවුන් සමඟ සම්බන්ධතාවයෙන් පසුවන බව වෛද්‍ය පටබැඳි මහතා Daily Mirror පුවත්පතට පවසා ඇත.

“මෙය තායිලන්තයේ දේශපාලනමය වශයෙන් පෙළඹවූ විරෝධතාවයක් විය හැකියි. ඇතැම් කණ්ඩායම් බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරත වී තිබෙනවා. මෙම අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර වාර්තා ලබාදීමට අපි පශු වෛද්‍යවරුන් යොදවා තිබෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට පෙර, පෙරහැරවල පූජනීය ධාතුන් වහන්සේලා වැඩම කරවීම සඳහා 2001 වසරේදී තායි රාජකීය පවුල විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද ‘මුතු රාජා'(සක් සුරින්) නමැති 29 හැවිරිදි වියේ පසුවූ තායි ඇත් රජු නැවත තායිලන්තයට ගෙනයන ලදී.

සැලකිල්ලක් නොදැක්වීම සහ පාදවල ආබාධ ඇතිවීම පිළිබඳ චෝදනා හේතුවෙන් ඇතිවූ රාජ්‍යතාන්ත්‍රික මතභේදයකින් පසුව, 2023 ජූලි 2 වන දින එම ඇතා ගුවන් මගින් නැවත තායිලන්තයට ගෙනයන ලදී.