October 19, 2026

මුම්බායි නගරයේ ජුහු ප්‍රදේශයේදී ඉන්දීය බොලිවුඩ් නළු ටයිගර් ශේරෝෆ් ගමන් කළ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී නළුවා අනූනමයෙන් බේරී තිබේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට, මෙම සිදුවීම සිදුව ඇත්තේ පුෂ්පා උද්‍යානය අසලදී, නළුවා පාපන්දු ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ආපසු යෑමට සූදානම් වෙමින් සිටි අවස්ථාවකය.

ජන සමූහයක් එම ස්ථානයේ රැස්ව සිටියදී, හඳුනානොගත් පුද්ගලයන් තිදෙනකු ටයිගර්ගේ වාහනයට වෙඩි තබා ඇත.

මෙම වෙඩි තැබීමෙන් ටයිගර්ට කිසිදු හානියක් සිදුනොවූවත්, ඔහුගේ රියැදුරු සහ ත්‍රිරෝද රථ රියැදුරෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.

ටයිගර් ආරක්ෂිතව සිටින බවත්, ඔහුට කිසිදු වෙඩි තැබීමේ තුවාලයක් සිදුව නොමැති බවත් මුම්බායි පොලිසිය තහවුරු කළේය.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පණිවිඩයක් මඟින් ලෝරන්ස් බිෂ්නෝයි නම් කණ්ඩායම මෙම වෙඩි තැබීමේ වගකීම භාරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, පොලිසිය මෙතෙක් මෙම කල්ලියේ සම්බන්ධය නිල වශයෙන් තහවුරු කර හෝ ප්‍රහාරය පිටුපස ඇති චේතනාව අනාවරණය කරගෙන නොමැත.