October 18, 2026

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කිසිදු පාර්ශ්වයක බලපෑම්වලට යටත්ව නීතිය අභිබවා යාමට ජනාධිපතිවරයා කිසිදු පියවරක් නොගන්නා බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ප්‍රකාශ කරති.රජයේ වාර්තා සඳහන් කරයි.

“නීතිමය ගැටලු විසඳාගත යුත්තේ අධිකරණය හමුවේ මිස ඊට පිටතින් නොවේ” යන්න මේ කරුණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වී ඇත.

මෙවැනි ඉල්ලීමකට ඉඩදීමෙන් සමාන තත්ත්වයන්හි පසුවන අනෙකුත් පිරිස්ද සමාව ඉල්ලා සිටීමේ අයහපත් පූර්වාදර්ශයක් නිර්මාණය වන බැවින් ජනාධිපතිවරයා එම හිමිනමට සමාව ලබාදීමට එකඟ නොවනු ඇතැයි පැවැසේ.

“ඥානසාර හිමියන් නඩු දෙකකට වැරදිකරු වී ඇති අතර, උන්වහන්සේට එරෙහිව තවත් නඩු කිහිපයක් විභාග වෙමින් පවතිනවා. මෙම සියලු නඩුවලට අදාළව ජනාධිපතිවරයාට උන්වහන්සේට පූර්ණ සමාවක් (blanket pardon) ලබාදීමට හැකියාවක් නැහැ” යැයි රජයේ ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ඥානසාර හිමියන්ට සහය පළකරමින් මහනුවර සිට පාගමනින් පැමිණ සිකුරාදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීමට උත්සාහ කළත්, පොලිසිය ලබාගත් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකින් ඉවත් කරනු ලැබූ භික්ෂූන් වහන්සේලා පිරිසක්, ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ මහනගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි විහාරමහාදේවී උද්‍යානයේ දැනට නවාතැන් ගෙන සිටිති.

එම භික්ෂු පිරිස අතර කැපී පෙනෙන හඬක් වන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පැවසුවේ, ඥානසාර හිමියන් කොන්දේසි විරහිතව නිදහස් කරන තෙක් තමන් විහාරමහාදේවී උද්‍යානයේ රැඳීසිටින බවයි.

“ඥානසාර හිමියන් නිදහස් වන තෙක් අපි මෙතැන රැඳීසිටිනවා. අපගේ ප්‍රධාන අරමුණ ජනාධිපති සමාව හරහා උන්වහන්සේව නිදහස් කරගැනීමයි,” යැයි පැවසූ කස්සප හිමියන්, උන්වහන්සේ නිදහස් වූ පසු පූජා කිරීම සඳහා දැනට සිවුරක්ද මසමින් සිටින බව වැඩිදුරටත් පැවසූහ.

බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලින් මෙතෙක් තම ඉල්ලීමට විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ බවද උන්වහන්සේ පැවසූහ.

‘සිවුරට යුක්තිය’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධතාව ඔක්තෝබර් 10 වැනිදා මහනුවරින් ආරම්භ වී ඔක්තෝබර් 15 වැනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අසලට ළඟා විය. භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන් සහ සිවිල් සමාජ සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ආසන්නයේ රැඳී සිටීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි.

මේ අතර, හොරුන්, දූෂිතයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දඬුවම් කිරීම වැළැක්වීමේ කුමන්ත්‍රණ පරාජය කරන ලෙස ඉල්ලමින් ‘ජනවරමේ පුරවැසියෝ’ ලෙස හඳුන්වා ගන්නා රජයේ ආධාරකරුවෝ පිරිසක්ද ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.