October 18, 2026

කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා ශාලාවක් තුළ සඟවා තිබූ ගිනි අවි කිහිපයක්, ජීව උණ්ඩ දහස් ගණනක් සහ අත් බෝම්බ දෙකක් සොයා ගැනීමෙන් අනතුරුව 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

කිරිඳිවැල පොලිස් වසමේ, හංවැල්ල පාරේ පිහිටි මෙම සිනමා ශාලාව පරීක්ෂා කිරීමේදී අදාළ අවි ආයුධ සහ උණ්ඩ තොගය සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මිල්ලත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙහිදී සොයාගත් ද්‍රව්‍ය අතර විදේශීය නිෂ්පාදිත පිස්තෝල දෙකක්, රිවෝල්වරයක්, විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ රයිෆලයක් සහ විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් විය.

තවද බෝර්12 ජීව උණ්ඩ 398ක්, බෝර 16 ජීව උණ්ඩ 278ක්, කැලිබර් .32 වර්ගයේ ජීව උණ්ඩ 49ක්, කැලිබර් 32 වර්ගයේ අමතර උණ්ඩ 3,083ක් සහ ජීව අත්බෝම්බ 2ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.