October 16, 2026

ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, අද (16) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කර තිබේ.

වාර්තා වන අන්දමට, අද දින අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සුරේෂ් සලේ මෙලෙස අධිකරණය හමුවට පමුණුවා ඇත.

මෙම නඩුව සම්බන්ධ වන්නේ ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවියේ සේවය කළ ජන =මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධියටයි.

ඔහු 2010 ජනවාරි 24 වැනි දින, එනම් ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අතුරුදහන් විය.

එක්නැලිගොඩ අතුරුදහන් වූයේ එම අවස්ථාවේ පැවැති ජනාධිපතිවරණයේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය පළකරමින් ලිපි කිහිපයක් ප්‍රකාශයට පත්කිරීමෙන් නොබෝ වේලාවකට පසුවය.

ඔහුගේ අතුරුදහන් වීම, ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් විසඳී නොමැති වඩාත්ම අවධානයට ලක්වූ සිදුවීම්වලින් එකක් ලෙස තවදුරටත් සැලකේ.