October 16, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයකට ප්‍රතිචාර ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ලිඛිත පිළිතුරක් නිකුත් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී එල් පීරිස් කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය පෙරේදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයන් පිටතට කැඳවාගෙන යාමේදී ඇඳිය යුතු ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපාදන බන්ධනාගාර ස්ථාවර නියෝගවල පැහැදිලිව අඩංගු වන බව එහි දක්වා තිබිණි.

එබැවින් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම යනු මෙම ගැටලුව යටපත් කිරීමට සහ කල් ඇදීමට දැරූ අවංක නොවන උත්සාහයක් බවට චෝදනා කළ එක්සත් ජාතික පක්ෂය, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමිපාණන් වහන්සේගෙන් සහ සංඝ සභාවෙන් රජය සමාව ගත යුතු බවද ප්‍රකාශ කර තිබිණි.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මහජනතාව මුලාකිරීමේ අරමුණින් අංක 550 දැක්වෙන බන්ධනාගාර ස්ථාවර නියෝගයේ එක් කොටසක් පමණක් එක්සත් ජාතික පක්ෂය විසින් චේතනාන්විතව උපුටා දක්වමින් විකෘති මතයක් ඉදිරිපත් කර ඇති බවයි. බන්ධනාගාරගතව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අදාළ මෙවැනි සංවේදී කරුණකදී වගකිවයුතු දේශපාලන පක්ෂයක් විසින් මෙලෙස විකෘති මත ප්‍රචාරය කිරීම ගැන තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා පැවසීය.

නීතිමය ප්‍රතිපාදනයක එක් කොටසක් පමණක් පදනම් කරගෙන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැරදි හෝ අසම්පූර්ණ වැටහීමක් ඇති වන බව නීතිය පිළිබඳ අවම අවබෝධයක් හෝ ඇති ඕනෑම අයෙකු දැනගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. අදාළ ස්ථාවර නියෝගයේ සම්පූර්ණ පාඨය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ ඥානසාර භික්ෂුවට නියම කර ඇති බන්ධනාගාර දඬුවම් කාලය නොසලකා හැරීම මගින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය නිවේදනය මගින් මුළා කරවන සුළු මතයක් නිර්මාණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.