October 14, 2026

ඉන්දියාව සහ කැනඩාව අතර පවතින උපායමාර්ගික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද් අතර විශේෂ හමුවක් පැවැත්වුණි. දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

නිල නිවේදනයකට අනුව, වෙළඳ, තාක්ෂණ, ආරක්ෂක, බලශක්ති, අධ්‍යාපන සහ ජනතාව අතර පවතින සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසකින් ඉන්දියා-කැනඩා සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග පිළිබඳව ද ඔවුහු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මෙම හමුව ඉතා ඵලදායී වූ බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මෝදි මහතා, කැනඩාව සමඟ ඉදිරිගාමී සහයෝගීතාවක් ගොඩනැගීමට ඉන්දියාව දක්වන කැපවීම නැවතත් අවධාරණය කළේය.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ප්‍රගතිය ප්‍රායෝගික ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

විශේෂයෙන්ම, පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව, කලාපීය සහ ගෝලීය තත්ත්වයන් පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගෙන තිබේ.

අගමැති මෝදි මෙහිදී කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාර්නි වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර, ඔහු සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඇති කැමැත්ත ද පළ කළේය.

අඟහරුවාදා දිනයේදී අගමැති මෝදි සහ කැනඩා අගමැති මාක් කාර්නි අතර පැවැති දුරකථන සංවාදයෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. මෙය දෙරට අතර සබඳතා නැවත ගොඩනඟා ගැනීමට සහ පුළුල් කිරීමට ගන්නා ඉහළ මට්ටමේ උත්සාහයන් පෙන්නුම් කරන්නකි.