October 15, 2026

පසුගිය සති කිහිපය තුළ මෙරටින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත්, පසුගිය සතියේ එකතු කරන ලද සාම්පලවලින් 35% කට ආසන්න ප්‍රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ධනාත්මක වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මෙරට රෝග නිරීක්ෂණ පද්ධතිය හරහා මෙම ඉහළ යාම හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ, දැනට වාර්තා වන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගීන්ගෙන් වැඩි පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් රෝගීන් බොහෝදෙනෙකු ප්‍රතිකාර සමඟ දින තුනක් හෝ හතරක් ඇතුළත බරපතල සංකූලතාවලින් තොරව සුවය ලබන බැවින් අනවශ්‍ය ලෙස බිය නොවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගර්භණී මාතාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි නිධන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් ඉන්ෆ්ලුවෙන්සා නිසා හටගන්නා සංකූලතාවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

ආසාදිත පුද්ගලයින්ගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන ශ්වසන බිංදු මෙන්ම ස්පර්ශය මගින් ද ඉන්ෆ්ලුවෙන්සා ප්‍රධාන වශයෙන් පැතිරෙන බව පැහැදිලි කළ වෛද්‍ය කරුණාපේම, රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝගය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා දින දෙක තුනක් නිවසට වී විවේක ගන්නා ලෙස උපදෙස් දුන්නේය. සබන් යොදා නිතර දෑත් සේදීම සහ ආසාදනය වී ඇති විට මුව ආවරණ පැළඳීම ඇතුළු පූර්වාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව තහවුරු කරන අතරම, විශේෂයෙන්ම අවදානම් සහිත කාණ්ඩ අතර ආරක්ෂිත පියවර ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය නිලධාරීහු මෙහිදී අවධාරණය කළහ.