October 14, 2026

අන්තර්ජාතික මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නම රන් අකුරින් ලියමින්, ඩුබායිහි පැවැති IAME Bambino Cup UAE මෝර‍ර් රථ ධාවන තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනා ගැනීමට වයස අවුරුදු 7ක ලාබාල රියැදුරු අවිෂ් සිල්වා සමත්ව තිබේ.

යුරෝපීය ජාතිකයන් ඇතුළුව විවිධ රටවලින් පැමිණ සිටි අතිශය දක්ෂ ලාබාල රියැදුරන් 13 දෙනකු සමඟ කරට කර සටනක නිරත වෙමින් අවිෂ් මෙම විශිෂ්ට දස්කම පෙන්වා තිබේ.

තරගාවලිය පුරාම තියුණු තරගකාරීත්වයක් පෙන්නුම් කළ ඔහු, කාලය මැන බැලීමේ පළමු හා දෙවැනි වටවලින් තෙවැනි ස්ථාන දිනාගත් අතර, තෙවැනි වටයේ දී පළමු ස්ථානය හිමි කරගෙන ඇත.

අනතුරුව අවසන් මහා තරගයේදී අතිශය දක්ෂ ලෙස රිය හසුරුවමින් දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට ඔහු සමත් විය.

IAME Bambino Cup යනු ලොව පුරා වයස අවුරුදු 5ත් 8ත් අතර පසුවන කුඩා දරුවන්ගේ මෝටර් රථ කුසලතා ඔප්නංවන කීර්තිමත් අන්තර්ජාතික තරගාවලියකි.

වයස අවුරුදු 7ක් වැනි ඉතා ළාබාල වියේදී අවිෂ් ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් වන අතර, එයින් පැහැදිලි වන්නේ මෙරට ලාබාල ක්‍රීඩකයන්ට අනාගතයේදී අන්තර්ජාතික ජයග්‍රහණ වෙත යාමට ඇති අසමසම හැකියාවයි.