October 14, 2026

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියාසිටියේ චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රය, පසුව ‘සිරිලිය සවිය’ සංවිධානය විසින් කරන ලද පරිත්‍යාගයක් ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත භාරදී ඇති බවයි. තවද මෙම භාරදීමේ උත්සවය දෙවැනි සැකකාරියගේ දරුවකුගේ උපන්දින දිනයේදී පවත්වා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එම MRI ස්කෑනර් යන්ත්‍රය චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් බව තහවුරු කරමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රන්මන්ත්‍රි සහ වෛද්‍ය රත්නසිරි ප්‍රකාශ ලබාදී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ශිරන්ති රාජපක්ෂට විවෘත හෘද ශල්‍යකර්මයක් (open-heart surgery) සිදුකිරීමට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නිකුත් කර නොමැති බවද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට MRI ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන රජයේ මුදල් සප්‍රමාණව පරිහරණය නොකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් යන අයට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝඩරගම ඉදිරියේ ඊයේ නැවත කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී, අධිකරණ නියෝගයට අනුව කටයුතු කරමින් කොළඹ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සැකකාර ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් පිටු තුනකින් යුත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින්, ඇයට විවෘත හෘද ශල්‍යකර්මයක් සිදුකිරීමට දැනට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාරියගේ හදවතේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් (angiogram) සිදුකිරීමට පමණක් වෛද්‍ය නිර්දේශයක් ලබා දී ඇති බව එම වෛද්‍ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී ඇත. ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මොනවාද යන්න තීරණය කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

ඊයේ උදෑසන නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියාසිටියේ කලු සල්ලි සුදු කිරීම සඳහා ‘සිරිලිය සවිය’ සංවිධානය භාවිත කර ඇති බවයි. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී මෙසේ සඳහන් කළේය.

“ස්වාමීනි, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රථම වතාවට එකඟතාවයකට පැමිණ අන්‍යෝන්‍ය කැමැත්තෙන් මෙම විමර්ශනය ඒකාබද්ධව සිදුකරනවා. ඒ අනුව පොදු දේපළ පනත සහ අන්තර්ජාතික දූෂණ විරෝධී පනතේ 70 වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා. 2010 දෙසැම්බර් 28 වැනි දින, දෙවැනි සැකකාරිය ‘පළමු කාන්තාව, ශිරන්ති රාජපක්ෂ’ යන නිල නාමය සහිත ලිපි ශීර්ෂයක් භාවිත කරමින්, ‘කාල්ටන් සුව උදාන’ නමැති ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 140ක් ලබාදෙන ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඉල්ලා සිටියා. පසුව එම මුදල වාචිකව රුපියල් මිලියන 50 දක්වා සංශෝධනය කරනු ලැබුවා.

ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ සෙලාන් බැංකුව මගින්ද මෙම ගිණුමට මුදල් බැරකර තිබෙනවා. එම ආයතනවලින්ද මෙලෙස ඉල්ලීම් කර තිබුණා. පසුව 2010 දෙසැම්බර් 08 වැනි දින පළමු සැකකරු මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා. ඒ අනුව රුපියල් මිලියන 10ක් ලබාදීමට එහිදී එකඟතාවයකට පැමිණි අතර එම මුදල 2010 දෙසැම්බර් 30 වැනි දින අනුමත කෙරුණා. මෙම කාලසීමාව තුළ, එනම් 2011 මැයි 04 වැනි දින, දෙවැනි සැකකාරිය විසින් කාල්ටන් සුව උදාන ගිණුම වෙනුවට ලංකා බැංකුවේ මරදාන ශාඛාවේ පවත්වාගෙන යනු ලබන සිරිලිය සවිය ගිණුමට මුදල් බැරකරන ලෙස පළමු සැකකරුට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත්, මෙම මුදල් හුවමාරුව සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියක් ලැබී තිබුණේ නැහැ. එසේ තිබියදීත්, පළමු සැකකාරිය කළ ඉල්ලීමක් බව පවසමින් පළමු සැකකරු එම මුදල සිරිලිය සවිය ගිණුමට බැරකිරීමට කටයුතු කර තිබෙනවා.

ස්වාමීනි, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට 2014 වසරේදී චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස MRI ස්කෑනර් යන්ත්‍රයක් ලැබුණා. ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ණය මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙම MRI ස්කෑනර් යන්ත්‍රය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ලබාදෙන ණය මුදලෙන් මෙම ස්කෑනර් යන්ත්‍රයේ වටිනාකම කපාහරින ලෙස ද ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ඉල්ලා සිටියා. චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම CT ස්කෑනර් යන්ත්‍රය පසුව සිරිලිය සවිය සංවිධානය විසින් කරන ලද පරිත්‍යාගයක් ලෙස රෝහලට භාරදී තිබෙනවා. එම අවස්ථාවට පළමු සැකකරුට ද ආරාධනා කර තිබුණා. මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ දෙවැනි සැකකාරියගේ දරුවකුගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදියි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රන්මන්ත්‍රි සහ වෛද්‍ය රත්නසිරි යන මහත්වරුන් ප්‍රකාශ ලබාදෙමින් තහවුරු කර ඇත්තේ මෙම MRI ස්කෑනර් යන්ත්‍රය චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් බවයි. ඊට අමතරව ස්වාමීනි, එම අවස්ථාව වන විටත් රෝහල සතුව CT ස්කෑනර් යන්ත්‍රයක් තිබුණා. මෙම ගිණුම මුලින්ම 2006 වසරේදී ආරම්භ කර ඇත්තේ ‘ශිරන්ති නාවෝදයා’ යන නමින්. මාස තුනකට පසුව එහි නම ‘සිරිලිය සවිය’ ලෙස වෙනස්කර තිබෙනවා. මෙම සංවිධානය නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොතිබූ අතර කිසිදු නිල වාර්තාවක් ඉදිරිපත් කරද නැහැ. එසේ තිබියදීත් රාජ්‍ය ලාංඡනය භාවිත කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය රාජ්‍ය ආයතනයක් මෙන් භාවිත කරමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පළමු කාන්තාව ලෙස හඳුන්වමින් ලිපි ශීර්ෂ නිකුත් කර තිබෙනවා. රාජ්‍ය ලාංඡනය භාවිත කිරීමට නම් පුද්ගලයකු රාජ්‍ය තනතුරක් දැරිය යුතුයි.

ස්වාමීනි, මෙම සිරිලිය සවිය සංවිධානය කියන්නේ කලු සල්ලි සුදු කිරීමට භාවිත කළ සංවිධානයක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. එබැවින් දෙවන සැකකාරියට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධ වෙනවා.”

ඉන් අනතුරුව දෙවැනි සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇයට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා:

“ස්වාමීනි, මෙම අවස්ථාවේදී සිද්ධියේ තථ්‍ය කරුණු සම්බන්ධයෙන් මම කරුණු දක්වන්නේ නැහැ. නමුත් පැමිණිල්ල ඉදිරිපත් කළ සියලුම කරුණු මම ප්‍රතික්ෂේප කරනවා. සැකකාරිය හෘද රෝගයකින් පෙළෙනවා. ඊයේ රාත්‍රියේ ඇගේ තත්ත්වය නරක අතට හැරීම නිසා ඇයව ජාතික රෝහලට ඇතුළත් කළා. ඇය මේ වන විට විවෘත හෘද ශල්‍යකර්මයකට (open-heart surgery) භාජනය වෙමින් සිටිනවා. මෙය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇයට ඇප ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. පසුගිය දිනයේදීත් ඇය හෘද රෝගියෙකු බවත් ඇගේ ධමනි තුනක් අවහිර වී ඇති බවත් ප්‍රකාශ කළා. නමුත් ඇයට ඇප ලැබුණේ නැහැ. ස්වාමීනි, කවුරුත් හදිසියේ විවෘත හෘද ශල්‍යකර්මවලට භාජනය වන්නේ නැහැ. මෙය බොරුවක් නෙවෙයි. ඇය වෙනුවෙන් මීට වඩා සුවිශේෂී කරුණක් මට ඉදිරිපත් කරන්න බැහැ. මෙම සැකකාරිය ශිරන්ති රාජපක්ෂ වූ නිසා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඇය ‘පොඩි මැණිකේ’ වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. මගේ වෘත්තීය ජීවිතය තුළ මෙවැනි සුවිශේෂී කරුණක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි. මෙය විශේෂ කරුණක් ලෙස පිළිගත නොහැකි නම්, සැකකරුවෙකුට ඇප ලබාදීමට අවශ්‍ය සුවිශේෂී කරුණු දක්වා ඇති පිටුව ඉරා දමන්න. ස්වාමීනි, පුද්ගලයෙකු මිය ගියත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යමෙකු ඉල්ලා සිටිනවා මම කවදාවත් අසා නැහැ. එබැවින් සැකකාරියට ඇප ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා…”

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියාසිටියේ සැකකාරිය රෝහල්ගත කර ඇති බව දැන සිටියද ඇය ශල්‍යකර්මයකට භාජනය වන බවට පැමිණිල්ලට දැනුම් දී නොමැති බවයි. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“ස්වාමීනි, සැකකාරිය ඊයේ රෝහල්ගත කළ බව අප දන්නවා, නමුත් ඇය මේ වන විට හෘද ශල්‍යකර්මයකට භාජනය වන බවට පැමිණිල්ලට දැනුම් දී නැහැ. මීට අදාළව ස්ථිර තොරතුරක් අපට ලැබී නැහැ. එබැවින් සැකකාරියට එවැනි ශල්‍යකර්මයක් සඳහා වෛද්‍ය නිර්දේශයක් ලැබී තිබේද යන්න තහවුරු කරගත යුතුයි.”

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා “ඔවුන් බලන් ඉන්නේ ඇය මියයනතුරුද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“ස්වාමීනි, 2026 සැප්තැම්බර් 10 වැනි දින මෙම සිද්ධියට අදාළ කරුණු වාර්තා කර විමර්ශනයට අදාළ ප්‍රකාශයක් ලබාදීමට සැකකාරිය කැඳවා තිබුණා. ඊට පසුදින ඇය හෘද රෝගයකින් පෙළෙන බව පවසමින් රෝහල්ගත වුණා. රෝහලෙන් පිටව ගිය පසුදිනම ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ඉන්පසු ඇය ඔක්තෝබර් 6 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. ඇය ගුවන්තොටුපළෙන් එළියට එන විට ඇයට කිසිදු රෝගී තත්ත්වයක් ඇති බවට ලකුණක් තිබුණේ නැහැ. ඇය ගුවන්තොටුපළෙන් එළියට ආවේ ඇස් පියාගෙන පවා නෙවෙයි. නමුත් ඇයව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, ඇසක ශල්‍යකර්මයක් සිදුකළ බව පවසමින් ඇය එක ඇසක් වසාගෙන සිටියා. එය ඇත්තක්ද නැතහොත් බොරුවක්දැයි මම දන්නේ නැහැ. මෙම සිදුවීම් මාලාවම රංගනයක්.”

ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම බන්ධනාගාර නිලධාරීන් අමතමින් සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම:

“සැකකාරිය 61 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවේ සඳහන් වෙනවා. සැකකාරිය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥවරයා පවසන්නේ සැකකාරිය මේ වන විට හෘද ශල්‍යකර්මයකට භාජනය වෙමින් සිටින බවයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසන්නේ ඒ පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට වාර්තා වී නොමැති බවයි. එම වාට්ටුවේදී සැකකාරිය ලබන ප්‍රතිකාර මොනවාද? සැකකාරිය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ කරුණු සත්‍යයක්ද? සැකකාරිය එවැනි ශල්‍යකර්මයකට භාජනය වෙනවාද?මේ සියලු කරුණු විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න.”

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා නැවතත් අධිකරණය අමතමින් මෙසේ පැවසීය:

“ස්වාමීනි, මම කළින් කියපු දේ නිවැරදි කරන්න කැමතියි. ශල්‍යකර්මය මේ මොහොතේ සිදුනොවන බවට මට දැන් උපදෙස් ලැබී තිබෙනවා. කෙසේවෙතත්, සැකකාරිය ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිතයි.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට කාලය ලබාදුන් අතර නඩුව පස්වරු 2.00 ට නැවත කැඳවීමට නියෝග කළේය.

පස්වරු 2.00 ට නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී, උදෑසන නිකුත් කළ අධිකරණ නියෝගයට අනුව බන්ධනාගාර අධිකාරීවරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් කොළඹ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පිටු තුනකින් යුත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. වෛද්‍ය වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝඩරගම ප්‍රකාශ කළේ සැකකාරියට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් මතුව නොමැති බවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝඩරගම:

“මට පිටු තුනකින් යුත් වාර්තාවක් ලැබී තිබෙනවා. විවෘත හෘද ශල්‍යකර්මයක් (open-heart surgery) අවශ්‍ය බවට වන කිසිදු වෛද්‍ය නිර්දේශයක් එම වාර්තාවේ අඩංගු වන්නේ නැහැ. ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් (angiogram) සිදුකිරීමට නිර්දේශයක් තිබෙනවා. මෙම වාර්තාවේ සැකකාරියගේ රෝගී තත්ත්වයන් ගැන සඳහන් වන අතර ප්‍රතිකාර නොලැබුණහොත් ඇගේ ජීවිතයට අවදානමක් විය හැකි බවද සඳහන් වෙනවා. ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. කිසිවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තබාගැනීමට මට අවශ්‍ය නැහැ. නමුත් ඇප ලබාදීමට ප්‍රමාණවත් සුවිශේෂී කරුණු තිබිය යුතුයි. සැකකාරියට අවශ්‍ය ප්‍රතිකාර මොනවාද යන්න සාකච්ඡා කිරීම සඳහා අද සවස වෛද්‍ය මණ්ඩලයක් රැස්වන බවද එම වාර්තාවේ සඳහන් වෙනවා. එබැවින් සැකකාරියට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු මේ අවස්ථාවේදී නැහැ. වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ හරහා සැකකාරියගේ වෛද්‍ය තත්ත්වය ඊළඟ දිනයේදී අධිකරණයට දැනුම්දිය යුතුයි. එම අවස්ථාවේදී සුවිශේෂී කරුණු මතුවුවහොත් ඇප ලබාදීම සලකා බැලිය හැකියි. සැකකාරියගේ වෛද්‍ය ප්‍රගතිය සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මම බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරනවා.”