October 11, 2026

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසත්, පවතින ආර්ථික අර්බුදයට වහා විසඳුම් දෙන ලෙසත් ඉල්ලා ඔහුගේ පාක්ෂිකයන් ආරම්භ කළ දැවැන්ත විරෝධතා සහ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර හමුවේ, පාකිස්තානයේ වයඹදිග පිහිටි කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයට හදිසි නීතිය පැනවීමට ජනාධිපති කාර්යාලය පියවර ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ආරක්ෂක වගන්ති දෙකකට අනුව ක්‍රියාත්මක කළ මෙම හදිසි පියවරත් සමඟ, ඉම්රාන් ඛාන්ගේ ‘පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය යටතේ පැවැති ප්‍රාන්ත රජයේ බලතල අහෝසි වන අතර, එහි සමස්ත පාලනය මධ්‍යම රජය වෙත පැවරෙනු ඇත.

ප්‍රාන්තය තුළ වේගයෙන් පිරිහෙන නීතිය හා සාමය පාලනය කිරීමට රජයේ නියෝජිතයන් දැරූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ජනාධිපති අසීෆ් අලි සර්දාරි විසින් මෙම නියෝගයට අත්සන් තබා ඇත.

මේ අතර, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී සහ නීතිය සුරැකීමේදී PTI ප්‍රාන්ත රජය දැක්වූ උදසීන පිළිවෙත මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බව අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කළේය.