October 11, 2026

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං කාලිද් අන්තර්ජාතික ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව 309 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි බලධාරීහු පවසති.

මියගිය පිරිස අතර සවුදි ජාතිකයන් සිව්දෙනකු, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු සහ ඇමරිකාව, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය හා ඊජිප්තුව යන රටවල ජාතිකයන් එක් අයකු බැගින් වන බව සෞදි සිවිල් ගුවන්සේවා අධිකාරිය තහවුරු කළේය.

ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපොළේ මෙහෙයුම් අත්හිටුවා ඇති අතර, සිදුවූ හානිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය ‘යුද අපරාධයක්’ ලෙස හඳුන්වා ඇති සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානය ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට සපථ කර ඇත.

ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ මගී පර්යන්තයකට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකිමින්, මියගිය අය අතර ඇමරිකානු ජාතිකයකු ද සිටින බව තහවුරු කළේය.

බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් තම රාජ්‍යතාන්ත්‍රිකයන්ට හා පුරවැසියන්ට ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් බැහැරව සිටින ලෙස උපදෙස් දී ඇති අතර, ගුවන්ගමන් රැසක් අවලංගු කර හෝ වෙනත් මාර්ග වෙත යොමුකර ඇත.

යේමන රජයේ හමුදාවන්ට සවුදි අරාබිය දක්වන සහායට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසති.

රතු මුහුදේ පාබු අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සටන් උග්‍රවීමත් සමඟ 2022දී ඇති කරගත් ස සන්ධිය බිඳවැටී ගැටුම් නැවත ආරම්භ වී තිබේ.