October 8, 2026

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ රාවල්පින්ඩි නගරය පුරා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ තරගවල ආරක්ෂාව වෙනුවෙන් පාකිස්තාන ෆෙඩරල් රජය සහ පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් යුද හමුදාව සහ විශේෂ බලකාය යෙදවීමට කටයුතු කර තිබේ.

තරග තුනකින් සමන්විත මෙම 20 යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට රාවල්පින්ඩි නුවරට පැමිණ සිටින අතර, තරග සියල්ල ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවලදී රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සූදානම් වන රාවල්පින්ඩි නගරයේ ක්‍රීඩාංගණය සහ අනෙකුත් වැදගත් ස්ථාන වටා ආරක්ෂක පියවර තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. පොලිසිය සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලකායන්ට අමතරව යුද හමුදාව සහ විශේෂ බලකාය මෙලෙස ආරක්ෂක මෙහෙයුම් සඳහා එක් කර තිබේ.

මෙම ආරක්ෂක වැඩපිළිවෙල මගින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් බිමන්, ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන මෙන්ම තරග පැවැත්වෙන අවස්ථාවලදී ක්‍රීඩාංගණය වටා ඇති ආරක්ෂාව ද ආවරණය කෙරේ.

තරගාවලිය සඳහා පැමිණි ශ්‍රී ලංකා සංචිතයේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු අද දිනයේදී කණ්ඩායමට එක්වීමට නියමිත අතර, ඒ සමගම ශ්‍රී ලංකා සංචිතය සම්පූර්ණ වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අටදෙනෙකු සහ නිලධාරීන් පස්දෙනෙකු ඉරිදා රාත්‍රියේ රාවල්පින්ඩි වෙත ළඟා වූ අතර, තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු සඳුදා උදෑසන එහි පැමිණියහ. පාකිස්තාන විස්සයි20 සංචිතය ද අද දිනයේදී රාවල්පින්ඩි වෙත රැස්වීමට නියමිත අතර, ඔවුන් තරගාවලිය සඳහා වන පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. දෙපිළම පස්වරු 5 ට පුහුණු සැසි පවත්වන අතර, ඇතැම් පුහුණු සැසි සඳහා මාධ්‍ය වෙත අවසර හිමිවන්නේ වීඩියෝ සහ ඡායාරූප ලබාගැනීමට පමණි.

දෙරට අතර පළමු විස්සයි20 තරගය ඔක්තෝබර් 09 වන දින පැවැත්වෙන අතර, තරගයෙන් අනතුරුව දෙපිළේම ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩල සභිකයෙකු මාධ්‍ය හමුවට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙවන තරගය ඔක්තෝබර් 11 වන දින ද, තෙවන සහ අවසන් විස්සයි20 තරගය ඔක්තෝබර් 13 වන දින ද පැවැත්වීමට නියමිතය.