October 8, 2026

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී නානා පටේකාර් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය. ජාතික සම්මානලාභී රංගන ශිල්පියෙකු වූ ඔහු හින්දි සහ මරාටි සිනමාවේ අතිශය සම්භාවනාවට මෙන්ම ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ටතම නළුවෙකි.

ගෝවේ, දෝනා පෝලා හි පිහිටි සිය නිවසේදී සිහිසුන්ව සිටියදී සොයාගැනුණු ඔහු වහාම රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත. මනිපාල් රෝහලේ පිළිකා රෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය ශේඛර් සල්කාර් මහතා ANI පුවත් සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ, විනාඩි 45 ක පමණ කාලයක් අඛණ්ඩව අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය-නීතිමය පරීක්ෂණයක් ලියාපදිංචි කර ඇති අතර, මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

මෙම අකල් වියෝව සැලවීමත් සමඟ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සගයන් මෙන්ම ලොව පුරා විසිරී සිටින ඔහුගේ රසිකයන්ද දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටිති.

නානා පටේකාර්ගේ අභාවය පිළිබඳ පුවත සැලවීමෙන් පසු සිය කනගාටුව පළකළ මරාටි රංගන ශිල්පී සිද්ධාර්ත් ජාදව් ETimes වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම අභාවය පිළිබඳ ආරංචියෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවත්, මෙය ඔහු සමුගත යුතු වයස නොවන බවත්ය. තවද, ඔහුට ඉටුකිරීමට තවත් වැඩකටයුතු රාශියක් තිබූ බවත්, මෙම පුවත අදහාගත නොහැකි තරම් කම්පනයක් ගෙනදුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නානා පටේකාර් චිත්‍රපට, රංගකලාව සහ රූපවාහිනි නිර්මාණ ඔස්සේ දශක ගණනාවක් පුරා අතිදක්ෂ රංගන පෞරුෂයක් ගොඩනඟාගෙන සිටි නළුවෙකි.

1951 ජනවාරි 1 වන දින මහාරාෂ්ට්‍රයේ උපත ලැබූ නානා පටේකාර්, තමන් සතු තියුණු රංගන ශෛලිය, දෙබස් උච්චාරණය සහ සංකීර්ණ චරිත නිරූපණය සඳහා ඉන්දීය සිනමාව තුළ ප්‍රසිද්ධත්වයක් උසුලයි.

1978 දී ‘Gaman’ චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු Housefull 5 චිත්‍රපටයේ ද සහායක චරිතයක් නිරූපණය කළේය.