October 5, 2026

දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන තර්ජනයක් ලෙස දැඩි උණුසුම මේ වන විට ගැබිණි මව්වරුන්, නූපන් දරුවන් සහ අලුත උපන් බිළිඳුන් දැඩි අවදානමකට ලක්කර ඇති බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විධායක ලේකම් සයිමන් ස්ටිල් අනතුරු අගවා තිබේ.

ෆීජී හි පැවැත්වෙන Pre-COP අමාත්‍ය හමුවේ පළමු දිනයේදී පැවැත්වුණු උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ඉහළ යන උෂ්ණත්වය නොමේරූ දරු ප්‍රසූතීන්, මළදරු උපත්, අඩු බර දරුවන් බිහිවීම සහ මව්වරුන්ට බලපාන විවිධ සංකූලතා සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් පවතින බවයි.

විදෙස් ආයතනයක් මඟින් මව්වරුන්ගේ සෞඛ්‍ය වෘත්තිකයන් සම්බන්ධයෙන් කරන ලද නව සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, එහි ප්‍රතිඵල ඉතා ගැඹුරින් සැලකිල්ලට ගත යුතු සහ කණගාටුදායක තත්ත්වයක පවතින බවයි.

පසුගිය වසර පහ තුළ මාතෘ සෞඛ්‍යයට බලපාන උණුසුම ආශ්‍රිත රෝග තත්ත්වයන් හෝ සංකූලතා වැඩි වී ඇති බව සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් 73%ක් ප්‍රකාශ කර තිබේ.

එපමණක් නොව, දැඩි ක්‍රියාමාර්ග නොගත්තොත් අධික උණුසුම මව්වරුන්ගේ, කළලවල සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යයට තවදුරටත් දැඩි තර්ජනයක් වනු ඇතැයි ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 81%කට වැඩි පිරිසක් දැඩි කනස්සල්ල පළකර ඇත.

“දේශගුණික අර්බුදය හමුවේ ගැබිණි කාලය සහ දරු ප්‍රසූතිය දැන් අතිශයින්ම මාරාන්තික නව අවදානම්සහගත සීමාවක් බවට පත්ව තිබෙනවා” යැයි සයිමන් ස්ටිල් අවධාරණය කර තිබේ.

එළිමහනේ වැඩ කරන පිරිස්, නුසුදුසු නිවාසවල ජීවත් වන අය සහ ප්‍රමාණවත් ජලය, විදුලිය හෝ සිසිලන පහසුකම් නොමැති සායන මත යැපෙන පිරිස් මෙම උණුසුම් තත්ත්වය හමුවේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වාදී ඇත.

ජාතික දේශගුණික අනුවර්තන සහ සෞඛ්‍ය සැලසුම්වලට මාතෘ සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍ය සේවා අනිවාර්යයෙන් ඇතුළත් කරන ලෙසත්, සෞඛ්‍ය සේවකයන්ගේ පුහුණුව, ඔරොත්තු දෙන සෞඛ්‍ය පහසුකම් සහ ආරක්ෂිත ජලය හා විදුලිය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරන ලෙසත් ඔහු රජයන්ගෙන් ඉල්ලා තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අන්තර්ජාතික මූල්‍ය ආධාර ඉහළ නැංවිය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.