October 5, 2026

පෞද්ගලික හේතූන් මත ඉරාන ඉන්ධන අමාත්‍ය මොහොසන් පාක්නෙජාඩ් තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව රාජ්‍ය මාධ්‍ය ඊයේ (04) වාර්තා කර තිබේ.

ඒ අනුව, රජයට අයත් ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බෝවාඩ් වැඩබලන ඉන්ධන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

2024 අගෝස්තු මාසයේ සිට පෙට්‍රෝලියම් අපනයන කරන රටවල සංවිධානයේ (OPEC) සාමාජිකයකු වන ඉරානයේ ඉන්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මොහොසන් පාක්නෙජාඩ් මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඉරානය සහ ඇමරිකාව අතර පවතින ගැටුම් හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක ය.

ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන නියෝජ්‍ය ප්‍රධානී මෙහ්දි තබාටබායි රාජ්‍ය රූපවාහිනිය වෙත ප්‍රකාශ කර ඇත්තේ, පාක්නෙජාඩ් මීට කලකට පෙර පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබූ බවත්, ඔහුගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් එම ඉල්ලා අස්වීම පිළිගත් බවත්ය.

“ජනාධිපතිවරයා විසින් මොහොසන් පාක්නෙජාඩ්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව, හමීඩ් බෝවාඩ් වැඩබලන ඉන්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා” යැයි තබාටබායි සඳහන් කර ඇත.

මෙම ඉල්ලා අස්වීමේ ප්‍රවෘත්තිය වාර්තා වීමට පෙර, අදහස් දක්වා ඇති පාක්නෙජාඩ් සඳහන් කර ඇත්තේ, තමන් අලෙවි කළ ඉන්ධනවලින් ලැබුණු ආදායම් තවදුරටත් ලැබෙමින් පවතින බවත් ඉදිරියටත් එය එලෙසම සිදුවනු ඇති බවත්ය.