September 18, 2026

සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැති ජනරැලියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

එයාර්බස් සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අදාළ දේශනයේ අන්තර්ගතය සහිත සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදුකළේය.

මෙම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. බෝදරගම විසින් අදාළ නියෝගය නිකුත් කළේය.