September 18, 2026

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය හිමි රටක පිතිකරුවෙකු විසින් වාර්තා කරන ලද වේගවත්ම T20I ශතකයේ වාර්තාව ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ශර්මා විසින් බිඳ හෙළන ලදී.

දිල්ලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තුන්වන T20I තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් පන්දු 30කින් සිය ශතකය සම්පූර්ණ කළේය.

ඒ හරහා ඔහු, මීට පෙර සිම්බාබ්වේහි සිකන්දර් රාසා (2024 දී ගැම්බියාවට එරෙහිව) සහ නවසීලන්තයේ ෆින් ඇලන් (2026 T20 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව) යන ක්‍රීඩකයින් විසින් හවුලේ දරන ලද වාර්තාව පන්දු තුනකින් අභිබවා ගියේය.

අභිෂේක්ගේ මෙම දක්ෂතාවය, 2017 දී ශ්‍රී ලංකාවට එරෙහිව රෝහිත් ශර්මා පන්දු 35කින් ලබාගත් ශතකය ලෙස පැවති ඉන්දීය වාර්තාවද අභිබවා ගියේය.

කෙසේ වෙතත්, සමස්ත T20I තරග ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව තවදුරටත් හිමිකරගෙන සිටින්නේ 2024 දී සයිප්‍රසයට එරෙහිව එස්තෝනියාව වෙනුවෙන් පන්දු 27කින් ශතකයක් වාර්තා කළ සහිල් චෞහාන් ය.

මෙය අභිෂේක්ගේ තෙවන T20I ශතකය විය. ඉන්දීය පිතිකරුවන් අතර ඔහුට වඩා වැඩි ශතක සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ රෝහිත් (5) සහ සූර්යකුමාර් යාදව් (4) පමණි.

අභිෂේක් සිය පළමු අර්ධ ශතකය ලබා ගැනීමට පන්දු 16ක් වැය කළ අතර, එම සන්ධිස්ථානයට ළඟා වීමෙන් පසුවද ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට කිසිදු විවේකයක් ලබා නොදෙමින් තවත් පන්දු 14ක් තුළ සිය ශතකය කරා වේගයෙන් ළඟා විය.

අවසානයේදී ඉන්දීය ඉනිමේ දසවන පන්දු වාරයේදී දැවී යන විට ඔහු පන්දු 34කින් ලකුණු 108ක් ලබා සිටියේය. එහිදී ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 11ක් එල්ල කළ කර තිබිණි .

ඔහු දැවී යන විට ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 142ක් ලබා සිටි අතර, එම අවස්ථාව වන විට කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් 76%කට වඩා වැඩි ප්‍රමාණයක් ඔහු විසින් රැස් කර ගෙන තිබූනා.

ඔහුගේ ආරම්භක පිතිකරු සහකරු සංජු සැම්සන් පළමු කඩුල්ලේ සබඳතාවයට පන්දු 25කින් ලකුණු 34ක් එක් කර තිබුණි.

මෙම තරගයට පෙර, ICC T20I පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා අභිෂේක් පැමිණ සිටි අතර, ඔහුට ඉහළින් සිටියේ ඔහුගේ කණ්ඩායම් සගයා වන ඉෂාන් කිෂාන් පමණි.